hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 29, පෙ.ව. 12:34



මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයින්ගේ මන්ත්‍රී ධූර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනායක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

මැතිවරණ නඩු විභාග කිරීම සඳහා වෙනම විනිශ්චය අධිකාරියක් යෝජනා කර තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් කෙටි කාලයකදී නඩු විභාග කර තීන්දු ලබාදිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

මැතිවරණ නීති සංශෝධනය පිණිස පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (2021) වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා මාලාවේ පිටපතක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පිළිගන්වමින් සභාපතිවරයා ඊයේ (28) මේ බව ප්‍රකාශ කළා.

එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙසේද පැවසුවා.

“මැතිවරණ කාලසීමාවේදී කොමිෂන් සභාව මගින් ආචාර ධර්ම ගැසට් කරනවා. මේවා අපේක්ෂකයෝ ගණන් ගන්නේ නැහැ. මැතිවරණ නීති කැඩුවත් අපිට කරන්න දෙයකුත් නැහැ. මැතිවරණ ආචාර ධර්ම නීතිගත කරන්නත් ඒවා කැඩුවොත් ඒක මැතිවරණ වරදක් ලෙස සලකන්න කියලත් අපි යෝජනා කළා. ඒක ඡන්ද කාලයට පමණක් නොව ධූර කාලය දක්වාම බලපාන ලෙස දීර්ඝ කරන්න ඕන. ධූර කාලය තුළ ආචාර ධර්ම වල අඩංගු යම් කාරණයක් උල්ලංඝනය කළොත් ඒක අධිකරණයක් මගින් තහවුරු කර ගැනීමෙන් පසු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ ක්‍රමවේදයකට අපි යොමුවිය යුතුයි. මැතිවරණ ක්‍රමයේ විශාල වෙනස්කම් රැසක් සිදු කළ යුතුයි. ඒ සඳහා නීතිමය වශයෙන් විශාල ප්‍රතිශෝධන කළ යුතුයි. සියල්ල කළ යුත්තේ පාර්ලිමේන්තුව මගින්. මැතිවරණයක් අවස්ථාවේදී ඡන්ද ලබා ගැනීම සඳහා අපේක්ෂකයින් විශාල ධනස්කන්දයක් වැය කරනවා. මේවා කිසියම් පාලනයකට යටත් කරන්න ඕන.

එක් අපේක්ෂකයෙක් බිලියන ගණනක් වැය කරත්දී තවත් අපේක්ෂකයෙකුට පත්‍රිකාවක් ගහන්න සල්ලි නැහැ. මේ නිසා මැතිවරණයකදී අපි බලාපොරොත්තු වන සම බිම ඇති වෙන්නේ නැහැ. මේකට පිළියමක් ලෙස අපි වියදම් පාලනය සම්බන්ධයෙන් නීති හදන්න කියලා යෝජනා කරලා තියෙනවා. අපේක්ෂකයෙකුට කාගෙන් හෝ යම් මුදලක් ලැබෙන්නේ නම් ඒක සඳහන් කළ යුතුයි. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා මගින් සකස් කළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබෙනවා. ඒ සම්බන්ධව දැන් නීතිපති සමඟ සාකඡාවක් පැවැත්වෙනවා. මේක ගැසට් කරලා සම්මත කර ගත්තොත් මැතිවරණ ක්‍රමයේ විශාල පරිවර්තනයක් වෙනවා. අපේක්ෂකයෝ ජනතාවට දෙන පොරොන්දු ජයග්‍රහණයෙන් පසු ඉටු නොකර ඔවුන්ට අවශ්‍ය දේ කරන්නේ. එවැනි අය නැවත පාර්ලිමේන්තුවෙන් කැඳවා ගන්න ජනතාවට අයිතිය දෙන්න ඕන. තම ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවූ අපේක්ෂකයෙකු යම් වරදක් කළොත් පුරවැසියන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒක විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යම් ස්ථාවර විනිශ්චය මණ්ඩලයක් පත් කිරීම කළ හැකියි. මුදල් වංචාවක්, බලය අයුතු ලෙස භාවිත කිරීමක් සිදු කර තිබෙන බවට එහිදී තහවුරු වුණොත් මන්ත්‍රී ධූරය අහෝසි වෙනවා. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන් අතරින් තිදෙනකු පත් කරන්න පුළුවන්. මන්ත්‍රී ධූරයක් අහෝසි කරනවා කියන්නේ ලොකු වැඩක්. ඒක සාධාරණ වෙන්න ඕන. නිවැරදි පටිපාටියට අනුව කරන්නත් ඕන.

මැතිවරණයකදී සාමාන්‍යයෙන් මැතිවරණ නාම ලේඛණයේ ලියාපදිංචිව සිටින ලක්ෂ හතරක් පහක් ඡන්ද දාන්නේ නැහැ. දෛනික රාජකාරිත් එක්ක සෞඛ්‍ය, ජනමාධ්‍ය, නිරීක්ෂණ සංවිධාන, වෙළෙඳ කළාප, ගුවන් සේවකයින් වගේ විශාල පිරසකට ඡන්දය දාන්න අවස්ථාව ඒ දිනයේදී ලැබෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඡන්දය දිනට පූර්වයෙන් ඒ අයට ඡන්දය දැමීමට අවස්ථාව ලබාදිය හැකියි. මෙයට අමතරව විශේෂ ඡන්ද පොළවල් ඒ ආයතන වල ස්ථාපිත කරන්න පුළුවන්. මේකත් අපි කර තිබෙන යෝජනාවක්. 2014 දී පැවැති දකුණු පළාත් සභා ඡන්දයේදී අපේක්ෂකයින්ට ප්‍රචාරක කටයුතු කිරීමට අවසර නොදෙන කාලසීමාවේදී එක් අපේක්ෂකයෙක් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කළා. සහකාර කොමසාරිස්වරු තිදෙනෙක් ඒ පැමිණිල්ල විභාග කරන්න ගියා. එක් අයෙකුගේ අතේ තිබුණු කැමරාව උදුරගෙන පහරදීමක් කරන්න අපේක්ෂකයා උත්සහ කරලා තියෙනවා. පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. පොලීසිය ඒ පැමිණිල්ල නීතිපතිට යවන්න අවුරුදු තුනක් ගත්තා. නීතිපතිතුමා මේ ලියුමට උත්තර එවන්න අවුරුදු දෙකක් ගත්තා. නඩුව පැවරුවේ අවුරුදු පහකට පස්සේ. තාමත් නඩුව යනවා. ඒ පළාත් සභාවේ නිල කාලයත් අවසන් වෙලා සෑහෙන කාලයක් වෙනවා. ජනාධිපති කොමිෂන් සභා පත් කරලා කරුණු සොයා බලලා වාර්තා දෙනවා.

කෝටි ගණන් මුදල් වැය කරනවා. ඒ වුණත් ඒවයින් සිදු වූ වැඩක් නැහැ. මේ නිසා යම් යම් ආයතන ගැන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටිලා. මේ වගේ යෝජනා රැසක් ඉදිරිපත් කරලා දැන් ඒවා පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙනවා. නමුත් ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ සඳහා විශාල ජනමතයක් හදන්න ඕන. කොමිෂන් සභාවට පුළුවන් වුණා මාස හතරෙන් හතරට අතිරේක ලැයිස්තු සකස් කරලා වයස අවුරුදු 18 සපිරෙන අවස්ථාවේදීම ඒ අයට ඡන්ද බලය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමට. ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන්න උත්සහ කරන්නේ ජනාධිපති බලතල අගමැති බලතල කොහොමද බෙදා ගන්නේ කියලා. අපි කියන්නේ ඒ අධීක්ෂණ බලතල මහජනතාවට දෙන්න කියලා. මහජනතාවට මැදිහත් වීමට පුළුවන් ලෙස කරන්න ඕන.”

මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල හිමියෝ මෙසේ අදහස් දැක්වූවා,

කිසියම් අපේක්ෂකයෙක් මැතිවරණ ආචාර ධර්ම කැඩුවොත් ඉතා ඉක්මනින් ඔහුට දඩුවම් කිරීමේ ක්‍රමවේදයක් සකස් විය යුතුයි. අවුරුදු පහක් හිටියොත් මන්ත්‍රිවරයා තමන්ගේ මන්ත්‍රී ධුරයේ වරප්‍රසාද කාලය අවසන් වෙනකල් බුක්ති විඳිනවා. එහෙම වුණොත් මේ කරන දෙයින් වැඩක් නැහැ. දේශපාලන ඇඟිලි ගැසීම් නොවන විදිහට තිබිය යුතුයි. මොකද තමන්ගේ කෙනා බේරා ගන්න අනෙක් අය ඉදිරිපත් වෙනවා. අතීතයේ සිදුව තිබෙන දේවල් බැලීමේදී ඒක පැහැදිලියි. මේ මොහොතේ සුදුසුම දේ මැතිවරණයකට යාමයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු අය තමයි තනතුරු දරන්නේ. කැබිනට් මණ්ඩලය බැලුවමත් එහෙමයි.”

මහනුවර  – කේ .එල් .සුරවීර