hit counter

2025 සැප්‍තැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:10



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී දී ඇති සහන වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය.

2022‑05‑09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබා දීමට 2022‑07‑04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත.

ඉන් අනතුරුව, එම නිවාස සහනදායී ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

අනුව, රුපියල් මිලියන 15.5ක අවම වටිනාකමකට සහ රුපියල් මිලියන 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රුපියල් මිලියන 13.34ක් ලෙස සහ උපරිම වටිනාකම රුපියල් මිලියන 18.21ක් ලෙස අඩු කර සහනදායී ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටත්, විකුණුම් මිලෙන් 25% මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොළී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අය කර ගැනීමටත් 2024-07-15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එම ක්‍රමවේදය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29දෙනෙකු 2024‑12‑31 දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබේ. එහෙත්, මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදු වී ඇති අතර, දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

එබැවින්, ඉහත පරිදි අනුමත කර ඇති සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29දෙනා එකඟ වන්නේ නම් සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: