hit counter

2025 නොවැම්‍බර් මස 21 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 21, පෙ.ව. 9:29



“මේ අවුරුදු පහ ඇතුළෙ බලශක්ති ක්ෂේත්රයේ විප්ලවය අපි අනිවාර්යෙන්ම කරනවා“ යැයි බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“අපි සූර්ය විදුලි බලය නිපදවනවා. කොහොමද ඒක කන්ට්රෝල් කරන්නෙ, කොච්චර ප්‍රමාණයක් අපේ සිස්ටම් එක ඇතුළට එනවද, කොච්චර ප්‍රමාණයක් අපිට ඒක අවශ්‍ය වෙනවද කියන දේවල් බලාගන්න ක්‍රමයක් නෑ. ඇත්තටම සූර්ය විදුලිබලයේ තියෙන ප්‍රශ්නෙ ඒක තමයි. අපි ඒක කන්ට්රෝල් කරන්න සිස්ටම් එකක් හදලා තිබුණෙ නෑ. 2015,16 අපි සූර්ය බල සංග්‍රාම ගෙනාවා කියනවා. ඒවා ගේනකොට ඒවට අදාළ සිස්ටම්, යටිතල පහසුකම්, රෙගුලාසි හදන්නේ කොහොමද කියලා එයාලට හිතිලා තිබුණෙ නෑ. අපි හිතනවා මේ සියල්ල එක්ක අපිට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන් කියලා.“

“සූර්යබල විදුලි ශක්තිය ඇතුළු පුනර්ජනනීය විදුලි ප්‍රභවවලින් නිෂ්පාදනය කරන විදුලිය ගබඩා කර වැඩි අවශ්‍යතාවයක් ඇති වෙලාවල්වලදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ ගබඩා ශක්තිය අපට තිබුණෙ නෑ. අපේ රජයක් යටතේ ඒ සඳහා අවස්ථා විවර කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි විවෘත කරපු ටෙන්ඩර් එකෙන් ඒකකයක් රුපියල් 17ක් වගේ අඩු මුදලකට මෙගාවොට් 160ක බැටරි පද්ධතියකට ටෙන්ඩර් ප්රදානය කරන්න පුළුවන් උනා. ඒ වගේම ලබන අවුරුද්දෙදිත් වැඩි බැටරි ප්‍රමාණයක් රට ඇතුළට අරගෙන එන්න අපි කටයුතු කරනවා.“

“අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙනවා වගේම අවුරුදු 03ක් ඇතුළත 30%කින් විදුලිබිල අඩු කරනවා. කර්මාන්තවලට වගේම ලංකාවේ සියලුම ජනතාවට අඩු මුදලකට විදුලිය ලබා දීම තමයි අපේ අරමුණ වෙන්නේ. අපි ඒ දේ කරනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවය අපි මේ අවුරුදු 05 ඇතුළෙ සිද්ධ කරනවා.“