hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 20, පෙ.ව. 10:03



පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණා.

ඒ් අනුව 2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව අනාවරණ වී තිබෙනවා.

2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලය තුළ පත්කර ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු සංඛ්‍යාව 184 ක්.

මීට අමතරව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පොලිස් ස්ථානාධිපති ධූරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් අතරින් 03 දෙනෙකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්ව ඇතැයි එම ලිපියේ සඳහන්.

කිසිඳු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයක් නොදැරූ නිලධාරීන් 13 දෙනෙකු, ඒ 1 හෝ ඒ 2 පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයට පත්ව ඇති බවත්, එවැනි තවත් නිලධාරින් 21 දෙනෙකු එකවර ඒ 3 පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයට පත්ව ඇති බවත් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කළ ලිපියේ සඳහන්. 

බී හෝ සී ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ධූරයක් දැරූ නිලධාරීන් 19 දෙනෙකු නියමිත පටිපාටියෙන් තොරව එකවර ඒ 2 සහ ඒ 1 ශ්‍රේණියේ ස්ථානාධිපතිවරයෙකු ලෙස ද පත්ව තිබෙනවා. 

පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත 2021 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දිනැතිව මෙම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය පවත්වාගෙන යාම සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින්.

ඒ, රහසිගත ලිපියක් ලෙසයි. 

නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මෙන්ම පොලිස් ස්ථානය තුළ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැදගත්ම තනතුර වන්නේ පොලිස් ස්ථානාධිපති තනතුර බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම එම තනතුරට අනන්‍ය වූ වගකීම් රැසක් ඇති බව ද පොලිස්පතිවරයා අදාළ ලිපියේ දක්වා තිබෙනවා. 

එමෙන්ම පොලිස් බලකායක සාර්ථකත්වය සඳහා, ඵලදායී බව හා වගවීම යනුවෙන් කරුණු 02 ක් බලපාන බවත් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

පොලිස් ස්ථානාධිපති ධූරයෙන් අපේක්ෂිත කාර්ය්‍යභාරයත්, ධූරය දරන්නාගේ ධාරිතාවය අනුව ඉටු කරන කාර්ය්‍යභාරයත් අතර පරතරය අවම කිරීම සඳහා එම ධූරවලට සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීම අනිවාර්ය්‍ය බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී පොලිස් සේවයක සාර්ථකත්වය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සාධකය වනුයේ පොලිස් ස්ථානාධිපතිධූරයයි. එබැවින් යහපත් හා සාර්ථක පොලිස් සේවයක් සඳහා පරිනත ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ දක්ෂතාවය හා හැකියාව අනුව නිසිපරිදි තෝරා ස්ථානගත කිරීම අවශ්‍ය වනවා. 

ස්ථානාධිපතිවරයෙකු පරිනතභාවය ලබාගන්නේ විවිධ අංශ, විවිධ ශ්‍රේණිවල සේවය කර ලබා ගන්නා අත්දැකීම් මගින්. එවැනි අත්දැකීම් නොමැති නිලධාරින් ඉහළ ශ්‍රේණියක පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරට ඍජුව පත් කළහොත් පරිනතභාවය නොමැතිවීම හේතුවෙන් පරිපාලනය දුර්වලවී නිලධාරීන් දූෂිත ක්‍රියාවලට යොමුවන බව ද පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන්. 

මේ අතර පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් යොමු කළ අදාළ ලිපියට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ ජගත් අල්විස් ද පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, 2021 වසරේ දෙසැම්බර් 13 දිනැතිවයි. 

එහි දැක්වෙන්නේ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයා යොමු කර ඇති ලිපියෙන් පෙන්වාදීමට උත්සහ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය ආකාර්යක්ෂම තත්ත්වයකට වැටීමට ප්‍රධාන හේතුව ස්ථානාධිපතිවරුන්ගේ ආකාර්යක්ෂමතාවය බවයි.

පොලීසියේ ආකාර්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මත බැර කිරීම කොතරම් යුක්තිසහගත ද යන්න සොයා බැලිය යුතු බවත්, ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශය ප්‍රධානතම සාධයක වන බැවින් උක්ත ලිපියේ සඳහන් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් එම පිළිතුරු ලිපියේ වැඩිදුරටත් සඳහන් බවයි වාර්තා වන්නේ.