hit counter

2025 ඔක්‍තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 8:45



ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

එම සංගමය තවදුරටත් පවසන්නේ පොලිස් නිලධාරීන් ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව බලය යෙදවීමට විරුද්ධව දැඩිව පෙනී සිටින බවයි.

එමෙන්ම අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට වගබලාගන්නා ලෙසද නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

චෝදනා ලබා සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

ඊයේ (10) දින ගල්කිස්ස අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා පැමිණි මෝටර් රථය අධිකරණ භූමියේ නවතා තිබීම නිසා බන්ධනාගාර බස් රථය පිටතට ගැනීමට නොහැකි වීම හේතුවෙන් බහින්බස් වීමක් දුරදිග ගොස් පොලිස් කොස්තාපල්වරයා පහරදීමක් සිදුකර ඇති බව පැවසෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ, එම සිදුවීම සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදුකරමින් පවතින බවත්, සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය පෙනී සිටින බවයි.

නීතිඥවරයාගේ හැසිරීම සහ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වීඩියෝපට ඔස්සේ නිරීක්ෂණය සිදුකරමින් පවතින බවත්, අධිකරණය විසින් නිසිපරිදි සාධාරණය ඉටුකරනු ඇති බවටද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු වන ගුණරත්න වන්නි නායක සම්බන්ධයෙන්ද ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අදාල ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර ඔහුගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරාම්භ කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: