hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04



ශ්‍රී ලංකාව තුළ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට අධික පිරිසක් සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇති බවත්, ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික රාමුවක් තුළ පාලනයකට නතු කිරීමේ අවශ්‍යතාවයත් මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කරයි.

ප්‍රජා ශක්ති සංවර්ධන පදනම විසින් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී ඊයේ (24) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය. ලිංගික ශ්‍රමිකයින්ටද මූලික මිනිස් අයිතිවාසිකම් හිමිවිය යුතු බව පෙන්වා දුන් ඔහු, එම වෘත්තියේ නියැලෙන කාන්තාවන් සහ පුරුෂයින් සමාජය තුළ යම් පිළිගැනීමකට ලක්කළ යුතු බවද කියා සිටියේය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය වඩාත් පුළුල් ලෙස හා විධිමත්ව ලබා දීමේ වැදගත්කමද මහාචාර්ය මහානාමහේවා මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෛද්‍ය හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා, වර්තමානයේ ලිංගික ශ්‍රමිකයින්ගෙන් 95%ක් පමණ කොන්ඩම් වැනි ආරක්ෂිත ක්‍රම භාවිත කරන බවත්, එම නිසා සමාජ රෝග ව්‍යාප්තියද සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවත් සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පෙර පාසල් දරුවාගේ සිට ඉහළ පන්තිවල දරුවන් දක්වා, ඔවුන්ගේ වයස් මට්ටම්වලට ගැලපෙන පරිදි වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ලබා දීමේ කාලය එළඹ ඇති බවයි. බොහෝ පාසල් දරුවන් තවමත් සිය ලිංගික අවයව සහ ලිංගික ක්‍රියාවලිය පිළිබඳව නිසි දැනුවත්භාවයකින් තොරව පසුවන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා, ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන් කිරීමෙන් හා නොසලකා හැරීමෙන් තොරව, ඔවුන්වද සමාජගත කිරීම සඳහා සියලු දෙනාගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අවධාරණය කළේය.

තම පදනම මේ වන විටත් කොළඹ, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දස දහසකට අධික පිරිසක් සමඟ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: