hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 මැයි 18, ප.ව. 8:32



කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අලුතෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති ” පික් – මී ” සහ ” ඌබර් ” ජාත්‍යන්තර කුළී රථ සේවාවන් පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කුළී රථ සංගම් වල රියැදුරුවරුන් සිය  විරෝධතාව අද (18) පළ කළා.

කටුනායක ගුවන් තොටුපළ තුළ කුළී රථ සංගම් තුනක් යටතේ ලියාපදිංචි වූ කුළී රථ 1,400 ක් පමණ තිබෙනවා.

මෙම සංගම් 1980 වසරේ තරම් දීර්ඝ කාළයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළ මගීන් සදහා සේවා සපයමින් සිටියා.

මේ වන විට මෙම කුළී රථ වලට  අමතරව තවත් පෞද්ගලික සමාගම් සහ ආයතන කීපයක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කාර්යාල පවත්වා ගනිමින් දෙස් – විදෙස් සංචාරකයන් සදහා ප්‍රවාහන සේවා සපයමින් සිටිනවා.

මීට අමතරව තවත් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ තුළ නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , පැමිණෙන ගුවන් මගීන් සදහා ප්‍රවාහන පහසුකම් සපයනවා.

එසේම ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් කීපයක් අම්පාර, කල්මුණේ, අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශ වලට සහ පෞද්ගලික බස් රථ කොළඹ බලා ගුවන් තොටුපළ ඉදිරිපිට සිට ධාවන කටයුතු සිදු කරමින් සිටිනවා.

මේ නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ ලියාපදිංචි කුළී රථ ධාවක රියැදුරන් වෙත සතියේ දින පහකට වරක් එක් ගමන් වාරයක් හිමි වන තත්වයට පත් වී තිබෙනවා.

බොහෝ කුළී රථ ෆිනෑන්ස් පහසුකම් යටතේ මෙම රථ ලබා ගෙන ඇති අතර අමතර කොටස් සහ ටයර් මිළ ගනන් ද මහත් සේ ඉහළ ගොස් ඇති අවධියක තවත් වෙනත් ජාත්‍යන්තර කුළී රථ සමාගම් දෙකක් ද ගුවන් තොටුපළ තුළ ධාවනයට එක් කිරීම නිසා මෙම කුළී රථ රියැදුරන්ට තම පවුල් නඩත්තු කිරීමට පවා අපහසු තත්වයකට ඔවුන් පත් වී ඇති බව එම රියැදුරන් පවසනවා.

එනිසා ඔවුන් මෙසේ අද (18) පස්වරු 02.00 ට පමණ සිය විරෝධතාව දැක්වීම සිදු කර තිබුණා.