2023 ජනවාරි 26, ප.ව. 7:56
නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාවගේ දැවැන්ත විරෝධයක් පවතින බව කී ජනාධිපතිවරයා ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් වියදම් අවම කර ගැනීමට කටයුතු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නා.
නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සැමරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළා.
75 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමීව පෙබරවාරි 02 දා සිට 19 වන දා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට ද සූදානම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“අපි හැත්තෑපස් වන නිදහස් දිනය සැමරිය යුතුයි. අපි එය සිදු නොකළ හොත් ලෝකය කියයි අපට නිදහස් සැමරුමක්වත් පවත්වන්න බැහැ කියලා. ඒ වගේම අපිට සංචාරකයන් වගේම, ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍යයි. අපේ රට ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනගන්න ඕන. ඒ නිසා වියදම් උපරිමයෙන් සීමා කර, අපි මේ
නිදහස් දිනය සමරමු.
නිදහස් දින සැමරුමට සමගාමීව නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඩුබායිවල පැවැත්වෙන දේශගුණික සමුළුට (COP28) සහභාගීවීමට පෙර අපි එහි කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම නව ආයතන කිහිපයක් ආරම්භ කිරීමටත් නියමිතයි.
ඊට අදාළ නීති සම්ම්ත කරගෙන වැඩකටයුතු ආරම්භ කරන විට අගෝස්තු මාසය පමණ විය හැකියි. ඒ වගේම රටට දීර්ඝ කාලීන ප්රතිලාභ ලැබෙන දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. කොහොමටත් මේ කටයුතු සඳහා මුලුමනින්ම වියදම් කිරීමට මහා භාණ්ඩාගාරයට මුදල් නැහැ. ඒ නිසා ප්‍රධාන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සිදු කරන ගමන් තමයි අනෙකුත් කටයුතු ගැන අවධානය යොමු කරන්න වෙන්නේ.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08