hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 28, ප.ව. 5:53



රටේ පැවති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට එම නිළධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වය මත ඊයේ (27) දිනය වන විට පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇත.

ඒ අනුව අධික සුළං හේතුවෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 07 දෙනෙකුද, බෝට්ටුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ද මිය ගොස් ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළා.

ඔවුන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදලක් ලබාදීමට නියමිත අතර එහි අත්තිකාරම් වශයෙන් මේ වන විටත් රුපියල් විසිපන්දහස බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) දිනය වන විට දිවයින පුරා පවුල් 11,326 ක පුද්ගලයන් 42,640 ක් පීඩාවට පත්ව ඇත.

ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසද උපදෙස් දුන්නා.