hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 26, පෙ.ව. 4:51



“අපට රුපියලක ආදායමක් නැත, දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවී ඇත” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.

දෙවසරක සහන වැඩසටහනක් සඳහා අරමුදල් නැවත යොමු කිරීම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මුදල් මුද්‍රණය සිය ප්‍රතිපත්තිය නොවූවද උද්ගත වී ඇති තත්ත්වය අනුව එම ක්‍රියා මාර්ගයෙන් බැහැර විය නො නොහැකි බවයි.

ඒ සමගම ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බවත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ආර්ථිකය තුළ මතු වී ඇති බරපතළ පීඩනය හමුවේ එය සිදුකළ යුත්තක් බවයි ඔහු කියා සිටියේ.

පසුගිය සඳුදා නිකුත් කරන ලද රජයේ දත්ත වලට අනුව මාර්තු මාසයේ 21.5% ක්වූ උද්ධමනය ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී එය වාර්තාගත ලෙස 33.8% ක් දක්වා ඉහළ ගියා.

මෙහිදී වියදම් කපා හැරීමේ අංශ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙරට ආර්ථිකයට දරාගත නොහැකි රාජ්‍ය අංශයේ වියදම් කපා හැරීම පිළිබඳව සමාලෝචනයක්ක් සිදු කිරීමට අදහස් කරමින් සිටින බවයි.

“උදාහරණයක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය, අපට එහි වියදම් අඩු කළ නොහැකියි, අධ්‍යාපන අමාත්‍යාංශය, එය සීමිත කප්පාදුවක්, නමුත් අපට කපා ගත හැකි තවත් බොහෝ අමාත්‍යාංශ තිබෙනවා” ඔහු කියා සිටියා.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මෙම විශේෂ සාකච්ඡාවේදී අනතුරු ඇඟවූයේ අර්බුදය විසඳීමට රජය ගන්නා ක්‍රියා මාර්ග හමුවේ උද්ධමනය ඉහළ යනු ඇති බවත්, වීදිවල තවත් විරෝධතා දැඩි විය හැකි බවත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රටේ මිලියන 22 ක ජනතාවගෙන් වඩාත් අවදානමට ලක්ව සිටින අයට උපකාර කිරීම සඳහා අරමුදල් ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එවන් තත්ත්වයක් යටතේ වුවද රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයන් පහව යනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් නොමැති බවයි.

“ඉදිරි දුෂ්කර දින දෙස බලන විට විරෝධතා තිබිය යුතුය. මිනිසුන් දුක් විඳින විට එය ස්වාභාවිකය, ඔවුන් විරෝධතා දැක්විය යුතුය,නමුත් එය දේශපාලන ක්‍රමය අස්ථාවර නොවන බවට සහතික වීමට අපට අවශ්‍යයි.” අග්‍රාමත්‍යවරයා වානිජ අගනුවර පිහිටි යටත් විජිත යුගයේ අගමැති කාර්යාලයේ පැවති සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියා.

ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් “තිරසාර ණය පැකේජයක්” බලාපොරොත්තු වන බවත්, රට තුළට නව ආයෝජන ඇද ගන්නා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවලදී තමන් අවධාරණය කළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා සිටියා.