hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 9:40



පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර තිබූ සහල් තොග ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඒ අනුව ඇමුණුම් වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පසුගිය මාර්තු මස 19 වැනි දින ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක විසින් ආහාර වැඩසටහනේ සහභාගිත්වය සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කළ බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා ගන්නා ලද පරිප්පු සහල් සාම්පල්වලට අදාලව විශ්ලේෂණ වාර්තා ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අනුව ගුල්ලන් සහිත සහ අවර්ණ බවට සඳහන් සහල් සහ පරිප්පු තොග හැර ඉතිරි තොග මනුශ්‍ය පරිභෝජනය සුදුසු බවත් නිර්දේශ කර තිබුණා.

එමෙන්ම මෙකී සහල් තොග තුල කල් ඉකුත්වීමේ දිනයන් සහිත බැවින් එදිනට පෙර පරිභෝජනය සඳහා සුදුසු බව නිර්දේශ කරන බවත් අදාල වෛද්‍යවරයා විසින් ලිපියක් යොමුකරමින් පවසා තිබෙනවා. (එම ලිපිය පහතින් දැක්වෙයි)

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කරමින් අදාල ඇමුනුම් වාර්තා සියල්ල සමග පැහැදිලි කිරීමක් කර ඇති එකී සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණි.

එම කමිටුව අදාළ නිර්දේශය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමිනි. (ඇමුණුම 01)

එලෙස ආයතන කිහිපයක් මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් යළි පරීක්ෂා කර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රය නියෝජනය වන පරිදි නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත්, මෙම සහල් තොගය මැයි 01වනදාට පෙර භාවිතා කිරීමට හැකිවන පරිදි සැලසුම් කරන ලෙසත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිත උපදෙස් ලබා දෙනු ලැබීය.

(ඇමුණුම 02)

ඒ අනුව සහල් තොගය මධ්‍යම ගබඩාවෙන් අදාළ පළාත් වෙත නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියෙක් සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මඟින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති අතර, එලෙස නිල අත්සනින් තහවුරු කිරීමෙන් පසුව පමණක් සහල් තොග අදාළ පළාත් වෙත නිකුත් කර ඇත.(ඇමුණුම 03)

පාසල් දරුවන් සඳහා ලබා දෙන ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ගුණාත්මක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලබාදුන් මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් පරීක්ෂා කළ යුතු බවට ද වැඩිදුරටත් දැනුම් දී තිබේ. (ඇමුණුම් 04)

ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන්වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොගය මැයි 31 වැනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවට නිර්දේශ කර ඇත. (ඇමුණුම 05)

මෙම සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් සහල් ඇසුරුම්වල “Not for Sale” (විකිණීම සඳහා නොවේ) ලෙස මුද්‍රණය කර ඇති අතර, සහල් තොග පරිභෝජනයට නුසුදුසු බවට ඉන් අර්ථ නොගැන්වේ.

ඒ අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විවිධ තල නියෝජනය වන පරිදි සිදුකළ විධිමත් පරීක්ෂාවකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සඳහා නිකුත් කිරීමට පියවර ගෙන ඇත.