hit counter

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 15, පෙ.ව. 12:20



දේශීය සැමන් නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවැතියදීත් සැමන් ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කිරීම හේතුවෙන් එම කර්මාන්තයට සම්බන්ධ ධීවරයන් ඇතුළු ලක්ෂ ගණනකට සිය රැකියා අහිමිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.

මෙරටට සැමන් ආනයනය කළයුතු බවට ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් කිහිපදෙනකුම පසුගිය දිනවල වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවලදී පවසා සිටි අතර, එහිදී දිගින් දිගටම දේශීය සැමන් නිෂ්පාදකයන් කියා සිටියේ රටේ සැමන් ඉල්ලුම වුවමනාවටත් වඩා සැපිරීමට තමන්ට හැකියාව පවතින බවය. ඊට වෙළෙඳ අමාත්‍යාංශයද එකඟතාව පළකර තිබූ බවද දේශීය සැමන් නිෂ්පාදකයෝ කියා සිටිති.

මේ අතර, සැමන් ටින් එකක මිල රුපියල් 600 ත් 650 ත් අතර මිලක් දක්වා ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට පහසු මිලට සැමන් මිලදී ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් වසරේ (2024) දෙසැම්බර් මාසයේදී සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරන ලදි.

එම නිවේදනයට අනුව ටුනා වර්ගයේ ග්‍රෑම් 425 ක සැමන් ටින් එකක් රුපියල් 380 කටද, මැකරල් වර්ගයේ ග්‍රෑම් 155 සැමන් ටින් එකක් රුපියල් 180 කටද, ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 420 කටද, ජැක් මැකරල් වර්ගයේ (ලින්නා) ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 560 කද උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බව එම අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වේ.

දේශීය සැමන් නිෂ්පාදකයකු වන දේශීය පණ්ඩිතරත්න කියා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා තිබෙන උපරිම සිල්ලර මිලට යටත්ව මේ වනවිට වෙළෙඳපොළේ ඇති තරම් සැමන් අලෙවි කිරීමට තිබෙන බවය.

එමෙන්ම දේශීයව නිපදවන සැමන් සඳහා රජය විසින් වැට් බදු අය කළද ආනයනික සැමන් සදහා වැට් බද්ද අය නොකරන බවද, ආනයනික සැමන් සඳහා පාලන මිලද බලනොපාන බවත්, සැමන් ආනයනය කිරීමට කටයුතු කළහොත් දේශීය සැමන් නිෂ්පාදන කර්මාන්තයේ සේම සැමන් නිෂ්පාදන කර්මාන්තයට මාළු සපයන ධීවරයන්ටද සිය අදායම් මාර්ගය අහිමි වන බවත් ඔහු පැවසීය.

දේශීය සැමන් නිෂ්පාදන කර්මාන්තශාලා 23 ක් තිබෙන අතර, ඉන් ක්‍රියාකාරී මට්ටමක ඇත්තේ 21 ක් පමණි.

දේශීය සැමන් නිෂ්පාදන කර්මාන්තය අඩාළ වුවහොත් ධීවරයන්ට සිය මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වන බවත්, ලින්නා මසුන් ඇල්ලීමට පමණක් ධීවර බෝට්ටු 2000 කට වැඩි සංඛ්‍යාවක්ද, කෙළවල්ලා මසුන් ඇල්ලීමට බෝට්ටු 5,000 ක් පමණද මුහුදු යන බවත්, මෙම එක බෝට්ටුවක ධීවරයන් හය දෙනකු පමණ මසුන් ඇල්ලීමට යන බවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළුව බෝට්ටු කර්මාන්තයට සම්බන්ධ ලක්ෂ ගණනකට සිය ජීවනෝපාය අහිමිවීමේ අවදානමක් පවතින බවත් ආචාර්ය කපිල බාලසූරිය කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: