2025 ජූනි 27, පෙ.ව. 12:04
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ජනාධිපති සමාවට පටහැනිව නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටින, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය ජුලි මස 09 වනදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.
එහි දී පසුගිය නඩු දිනයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිදුකළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් තුෂාර උපූල්දෙනිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.
“ස්වාමීනී, පසුගිය නඩු දිනයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා ඉදිරි සති දෙක තුළ අධිකරණය මවිතවයට පත්වන ආකාරයේ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බවට. ඒ වගේම අනුරාධපුරයෙන් නිදහස් වූ තිලකරත්න ඇමති පුද්ගලයා විදේශගත වී ඇති බවටත් ඔහු පැවසුවා.
නමුත් අද උසාවිය විමතියට පත්වන කිසිම තොරතුරක් පැමිණිල්ල ඉදිරිපත් කළ නෑ. තිලකරත්න නමැති පුද්ගලයා අනුරාධපුර උසාවියේ අත උස්සලා කියනවා තමන් තවම ඉන්නවා කියලා. ස්වාමීනී යම් පුද්ගලයෙක්ව නීති විරෝධී ආකාරයට නිදහස් කරලා තිබෙනවා නම් එක දෙයයි කළ යුත්තේ.
ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතුයි. නමුත් එවැනි පියවරක් තවම අරගෙන නැහැ.
මෙතන කිසිම අපරාධමය වරදක් සිදු වෙලා නැහැ. අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිපියක් ලැබෙනවා පසුගිය මැයි මස 05 වන දා වන විට පොදු සමාව යටතේ නිදහස් කළ හැකි රඳවියන්ගේ ලැයිස්තුවක් එවන්න කියලා. නිදහස් කිරීම සිදුවන්නේ මැයි මස 12 වනදා.
ඒ අතරතුර මැයි මස 05 වනදා සහ 12 වනදා කාලයේ තවත් පිරිසක් නිදහස්වීම සඳහා සුදුසුකම් ලබනවා. ඒ පිරිසත් නිදහස් කිරීම සිදු කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. සෑම වසරකම කලින් තෝරගන්න පිරිසට වඩා වැඩි පිරිසක් නිදහස් වෙනවා. ඒවා සිදු වන්නේ ජනාධිපතිවරයා එවන නිර්ණායක අනුවයි.
පසුගිය අප්‍රේල් මස 30 වනදා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස් විසින් මගේ සේවාදායකයාට ලිපියක් එවනවා ලැයිස්තුවෙන් පිට කිසිවකු නිදහස් කරන්න එපා කියලා. පසුව ඔහු මේ අතිරේක ලේකම්වරියට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරනවා. පසුව මේ ලිපිය ඉවත් කරගෙන තිබෙනවා.
සෑම වසරකම ලැයිස්තුවලට සඳහන් ප්‍රමාණයට වඩා වැඩි රැදවියන් පිරිසක් නිදහස් වෙනවා.බන්ධනාගාර පනතේ 47 වන වගන්තිය යටතේ නිදහස් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණය ගත හැක්කේ අදාළ බන්ධනාගාරයේ ජේලර්වරයාට පමණයි. මගේ සේවා දායකයාට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. මීට පෙර සිටි බන්ධනාගාර කොමසාරිස්වරු කටයුතු කරලා තිබෙන්නේ මේ ආකාරයටම තමයි.
ස්වාමීනී, අතුල තිලකරත්න නමැති පුද්ගලයාට වසර දෙකක බරපතල සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවනවා. ඉන් පසුව රුපියල් මිලියන දෙකක දඩයක් නියම වෙනවා. දඩ නොගෙව්වොත් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම වන බවත් නියෝගයේ සඳහන් වෙනවා.
නමුත් මේ පුද්ගලයා මැයි 05 වනදා වන විට නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ නෑ. මොකද ඔහු වෙනත් නඩු දෙකකට රිමාන්ඩ් භාරයේ සිටි නිසා. නමුත් පසුව ඔහුට ඇප ලැබෙනවා. ඒ නිසයි ඔහු මැයි මස 14 වනදා නිදහස් වන්නේ.
ස්වාමීනි මගේ සේවා දායකයා අපරාධමය වරදක් කළ බවට කිසිම සාක්ෂියක් උද්ගත වෙන්නේ නැහැ.
අධිකරණ අමාත්‍යාංශය කළ නුහුරු නුපුරුදු ක්‍රියාවක් නිසයි මේ ප්‍රශ්නය මතු වුණේ. මේ විදියට රාජ්‍ය පරිපාලනය කරන්න බැහැ. සමාජ මාධ්‍ය බලපෑම්වලට යට වෙලා තීරණ ගන්ඩ බැහැ.
මින් පසුව කිසිම රාජ්‍ය නිලධාරියෙක් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට සහනයක් ලබා දෙන්න බය වේවි. මොකද ඒ තුළින් ප්‍රශ්නයක් මතුවුනොත් ජනාධිපතිතුමා දිලීප පීරිස් මහත්තයාට කියයි කුදල ගෙන ඇවිල්ලා රිමාන්ඩ් කරන්න කියලා.
රාජ්‍ය පරිපාලනය කරගන්න බැරි වුණාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ ප්‍රශ්න විසඳගන්න හදනවා. මෙහෙම කරන්න ගියොත් අපරාධ පරීක්ෂණ අමාත්‍යාංශයකුත් පිහිටවන්න වෙයි.”
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝග නිකුත් කළා.
2025 ජූනි 27, පෙ.ව. 12:08
2025 ජූනි 27, පෙ.ව. 12:07
2025 ජූනි 27, පෙ.ව. 12:06
2025 ජූනි 27, පෙ.ව. 12:05
2025 ජූනි 27, පෙ.ව. 12:05
17-06-25
17-06-25
17-06-25
17-06-25
16-06-25
16-06-25
08-06-25
08-06-25
29-05-25
29-05-25
17-05-25
17-05-25
04-05-25
04-05-25
12-01-25
12-01-25
21-06-24
21-06-24
23-04-24
23-04-24
22-09-23
22-09-23
19-09-23
19-09-23