hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:04



එළඹෙන වර්ෂයේ අධ්‍යාපන පද්ධතිය තුළ පාසල් මට්ටමින් විශාල කාර්යභාරයක් සිදුකිරීමට ඇති බවත්, පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බවත් ඒ හරහා පාසල් මට්ටමින් දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

එමෙන්ම පාසල් ආරම්භ වූ පසු නිල ඇඳුම් බෙදාදීම, පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම, පහ ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කිරීම ඇතුළු ‍පාසල් පද්ධතිය තුළ සිදුකෙරෙන සමස්ත කාර්යභාරය තුළ අධ්‍යයන මෙන්ම අනධ්‍යයන සේවක මණ්ඩල වෙත ද විශාල වගකීමක් පැවරෙන බවත්, කොවිඩ් කාලයේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට නොහැකිව මගහැරුණු බොහෝ දේ නැවත ක්‍රියාවට නැංවීමට පියවර රැසක් ගත යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ පුරප්පාඩු සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 620 දෙනෙක් වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයෙහි ඊයේ (19) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ව මෙම සියලු‍ පත්වීම් ලබාදීමට කටයුතු කර ඇති අතර, මෙම පත්වීම්ලාභීන්ට තම වෘත්තීය සුදුසුකම් පියවරෙන් පියවර සාධනය කරගනිමින් ජ්‍යෙෂ්ඨ ලිපිකරු දක්වා උසස්වීම් වෙත ළඟා විය හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන් අතර, මෙම පත්වීම්ලාභීන්ගෙන් 562ක පිරිසකට ජාතික පාසල් වෙත පත්වීම් ලබා දී ඇති බවත්, පත්වීම්ලාභීන් 48 දෙනෙකුට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත පත්වීම් ලබාදී ඇති බවත්, ගුරු මධ්‍යස්ථාන සඳහා පත්වීම්ලාභීන් 10 දෙනෙකු යොමු කර ඇති බවත් සඳහන් කළා.

ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපන පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට පියවර ගන්නා බවත්, ඒ අනුව, පාසල් පර්ෂද පිහිටුවීම, පාසල් මණ්ඩල ස්ථාපනය කිරීම, දැනට පවත්නා අධ්‍යාපන කලාප කාර්යාල සංඛ්‍යාව 100 සිට 120 දක්වා වැඩි කිරීම, උසස් පෙළ සහිත සියලු‍ පාසල් මූලික අදියර යටතේ ඩිජිටල්කරණයට පියවර ගැනීම ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් ඒ අතර වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෑතක දී පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවක පිරිසක් පැමිණ ඔවුන්ගේ රාජකාරී කාලය ගුරුවරුන් මෙන් 1.30ට අවසන් කිරීමට අවසර ඉල්ලා සිටි බවත්, රජයේ සේවයට ඇතුළත් වන සියලු‍ දෙනා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුගතව ක්‍රියාත්මක විය යුතු වන හෙයින් පැය අටක සේවා කාලය වෙනස් කිරීම තමාට කළ නොහැකි බවත්, අනධ්‍යයන සේවකයින් තම සේවා කාලය ගුරුවරුන්ගේ සේවා කාලය සමග සැසඳීමට යාම සාධාරණ නොවන බවත් ඔවුන්ට පැහැදිලි කරදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අධ්‍යාපන පද්ධතිය වඩාත් ඵලදායීව කාර්යක්ෂම ව හා ගුණාත්මකව සංවර්ධනය කළ හැකි වන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් ප්‍රමුඛ අධ්‍යයන කාර්ය මණ්ඩලවල සහයෝගය මෙන් ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් ද සහයෝගයෙන්, කැපවීමෙන් මෙන්ම වගකීම්සහගත ව ස්වකීය කාර්යභාරය ඉටු කළහොත් පමණක් බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: