hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 9:29



සීදුව, වෑත්තෑව පිහිටි ශ්‍රී  නන්දාරාම විහාරාධිපති නැඳගමුවේ මහානාම හිමියන් ගෙල සිරකර ඝාතනය කළ බව කියන ප්‍රධාන සැකකාර තරුණ හිමිනම ඊයේ (15) අලුයම ඩුබායි රාජ්‍ය බලා ගුවන් මඟින් පැන යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකාර තරුණ හිමිනම විදේශගත වීමට ඉඩ ඇතැයි සැකකර ඒ සම්බන්ධයෙන් තොරතුරු කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ට කළ දැනුම්දීමට අනුවයි.

EK 649 දරන ගුවන් යානයෙන් සැකකාර හිමිනම මෙලෙස ඩුබායි බලා යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් සැකකරු කොටු කරගෙන වැඩිදුර විමර්ශන සඳහා සීදුව පොලිසියට භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිමිනම නායක හිමියන්ගේ ගෝලයකු බවද කියයි.

කෙසේ වෙතත් පොලිසිය මේ වනවිට කර ඇති මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ මහානාම හිමියන් ඝාතනය කිරීමට පෙර සැකකාර හිමිනම ඩුබායි බලා යෑම සඳහා අවශ්‍ය ලියකියවිලි ගුවන් ගමන් බලපත්‍ර සියල්ල සූදානම් කර තිබූ බවයි.

පොලිසිය පවසන අන්දමට නැඳගමුවේ මහානාම හිමියන් ඝාතනය කර ඇත්තේ ඉකුත් 12 වැනිදා ලැගුම්ගෙය තුළදී මුඛයට සිවුරක් ඔබා ගෙල ඇඳ ඇතිරිල්ලකින් ගැට ගැසීමෙන්.

සීදුව නන්දාරාම විහාරය තුළින් දුර්ගන්ධයක් වහනය වන බවට ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමෙන් පසු නැඳගමුවේ මහානාම හිමියන්ගේ දේහය ලැගුම්ගෙය තුළ තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි.

නිලධාරීන්  කළ විමර්ශනයේදී විහාරස්ථාන පරිශ්‍රයේ තිබූ කළු පැහැති ඩිෆෙන්ඩර් රථය සහ වැගන්ආර් රථයද අතුරුදන්ව තිබෙනවා.

එමෙන්ම නැඳගමුවේ හිමියන් ඝාතනය කළ ස්ථානය අවට මිරිස් කුඩු වැනි ද්‍රව්‍යයක්ද වැටී තිබී ඇතැයි පොලිසිය සඳහන් කළා.

නිලධාරීන් මේ පිළිබඳව විහාරස්ථානයේ සිටි ගෝලනමගෙන් කළ විමසීමේදී ඉකුත් 12 වැනිදා දහවල් හතර දෙනකු පන්සලට පැමිණ නායක හාමුදුරුවන් ගැන තොරතුරු විමසා තමාවද පුටුවක තබා බැඳ නායක හිමිනම බලන්නට උන්වහන්සේ රැඳී සිටි ලැගුම්ගෙයට ගිය බවත් ටික වේලාවකින් එම පිරිස් නැවත පැමිණ නායක හාමුදුරුවන්ගේ ජීප් රියත් වැගන්ආර් රථයත් රැගෙන ගිය බවත් පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර හිමිනමගෙන් කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රිය රුපියල් ලක්ෂ 150කට විකුණා ඇති බවයි.

එමෙන්ම එම මුදල ඩුබායි රාජ්‍යය වෙත යවා ඇති බවත් හෙළි වී තිබෙනවා.

නායක හිමියන් ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් සැකකාර හිමිනමගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඩිෆෙන්ඩර් රථය වත්තල ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම විහාරස්ථානයේ තිබූ වැගන්ආර් රථය රුපියල් ලක්ෂ 51කට විකුණා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

එම මුදල සැකකරුවන් අතර බෙදාගෙන ඇතැයි පොලිසිය සැක කරයි.

මේ වනවිට කරන ලද මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටි කාන්තාවක නාහිමි ඝාතනය මෙහෙයවා ඇති බවයි.

ඝාතනය සඳහා කාන්තාවට අමතරව තවත් තිදෙනකු එක්ව ඇති බවත් පොලිසිය කියයි.

සැකකාර කාන්තාව ගෝල හිමිනම ඩුබායිවලට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකාර හිමිනම ඩුබායි බලා පැන යෑමට ප්‍රථම සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නතරව සිට ඇතැයිද පොලිසිය පවසයි.

සැකකාරිය සහ සැකකරුවන් තිදෙනකු සොයා පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

සිද්ධිය වූ විහාරස්ථානය වෙත වැඩම කර සිටි හිමිනමක් මෙසේ සඳහන් කළා,

“ විහාරාධිපති හිමිනම ළඟ අවුරුදු පහේ සිට හදාගත්තු දරුවෙක් තමයි මේ මහණ කරලා තිබෙන්නේ. මේ විහාරස්ථානයේ තිබුණ ඩිෆෙන්ඩර් රථය ඇතුළු විහාරස්ථානයේ සියලුම දේපළ විහාරාධිපති හිමියන් මේ ගෝල හිමිනමට ලියලා කියලයි අපිට ආරංචි වෙලා තියෙන්නේ.මේ සිද්ධිය වනවිට නායක හාමුදුරුවොයි මේ ගෝල හිමිනමයි පමණක් විහාරස්ථානයේ ඉඳලා තියෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ.”