hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 18, ප.ව. 9:26



ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවුණි.

ඒ දහසය වසරකට පසු අද ඇරඹි සිරි දළදා වන්දනාව සමඟිනි.

මේ වන විට ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට පැමිණි ජනතාව වෙත දන්සලක් සුදානම් කර තිබෙනවා.

සිරි දළදා වන්දනාවට වරකට පැමිණි තිස්පන්දහසක් බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක මහා බත් දන්සැල ආරම්භ වුණා.

සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වූ අතර දළදා වන්දනාවේ පළමු දිනය වූ අද 60,000ක පමණ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගත්හ.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ, ලෝ වාසී බෞද්ධයන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩවෙසෙන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට මෙන්ම විදෙස් තානාපතිවරුන්ට ද අද උදාවුණි.

විදෙස් තානාපතිවරුන්ව කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියක් මඟින් රැගෙන ගොස් තිබුණි.

‘සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය වෙනුවෙන් ප්‍රථමයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරු දළදා මාලිගය වෙත වැඩම කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම සිදුවුයේ ඉන් අනතුරුවය.

ඉන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් සිරි දළදා වන්දනාවකදි සිදු කරන විශේෂ ආගමික වතාවත් ඉටුකෙරුණි.

එහිදි සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදුකර තිබේ.

ආගමික වතාවත්වලින් පසු ”සිරි දළදා වන්දනාව” ඇරඹුණු අතර මෙරට සේවයේ නිරත විදෙස් තානාපතිවරුන් රැසක් ද දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණ සිටීම විශේෂත්වයකි.

දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් මහා පිරිසක් අද පස්වරුව වන විටත් දිගු පෝලිම්වල රැඳී සිටියහ.

මෙම සැදැහැවතුන් වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් සකස් කර තිබේ.

ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම දක්වා, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාළිගාවේ ප්‍රධාන පිවිසුම දක්වා ලෙසිනි.

අද දහවල් 12.30ට ආරම්භ වූ සිරි දළදා වන්දනාව පස්වරු 5.30ට අවසන් කෙරුණි.

අද දළදා වන්දනාවට ඉඩ නොලද පිරිස් ඉවසීමෙන් මේ රැඳී සිටින්නේ හෙට (19) දිනයේ ඒ අවස්ථාව ලබාගැනීමේ අරමුණිනි.