hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:10



අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ගුරු පුහුණුව ලබාදෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.

ජනප්‍රිය යැයි හඳුන්වන බාලක, බාලිකා මෙන්ම මිශ්‍ර පාසල්වල විදුහල්පතිවරුන් හා විදුහල්පතිනියන් මෙම උපාධිධාරීන් පාසල්වලට ගෙන්වා ගුරුවරුන් වශයෙන් පුහුණු කරමින් සිටින බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

මෙම පුහුණුව ලබාදෙමින් ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවූ අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට ගුරු පුහුණුව ලබාදීම නතර කර ඇති පසුබිමක බවත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයාට පැමිණිලි කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික උපාධිධාරීන්ට පුහුණුවක් ලබානොදේ නම් කොළඹ පාසල්වල විදුහල්පතිවරුන් තීරණ ගත්තේ කාගේ අනුදැනුම මතද යන්න ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි පැමිණිල්ල මඟින් ඉල්ලා සිටි බවත් ඔහු කීවේය.

මේ දිනවල ලබාදෙමින් තිබෙන පුහුණුව හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කාලය අපතේ යන බවත් මෙමඟින් සිසුන් මෙන්ම අනෙකුත් ගුරුවරුන් පීඩාවට පත්ව සිටින බවත් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.

පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රජයේ පාසල් සිසුන්ට ඉගැන්වීමේ යෙදීමට අවසර ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අපක්ෂපාතී තීන්දු තීරණ ගනු ඇතැයි ගුරු වෘත්තීය සංගම් අපේක්ෂා කරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: