hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 9:34



දැනට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි ගේ බැංකු ගිණුමේ තොරතුරු අනුව එම ගිණුමට 2022ක වසරේ මුල් මාස 6දී රුපියල් මිලියන 3,000ක මුදලක් තැන්පත්වී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) අධිකරණයට දැනුම් දුන්නා.

නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාර ගතවී සිටියදීත් පුද්ගලයෙකුව දුරකථනයෙන් අමතා ලක්ෂ 300ක මුදලක් ඉල්ලා ඇති බවයි.

මේ අතර මහා පරිමාණ මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි සහ ව්‍යාපාරික හවුල්කරු ඉසුරු බණ්ඩාර ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා.

මහා පරිමාණ මුල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාරට එරෙහිව ගොනුකර ඇති නඩු 04ක් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.

කොටුව ස්ථිර මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ දින අධිකරණ කටයුතුවලට සහභාගී නොවීම හේතුවෙන් නඩු කැඳවීම සිදුවූයේ වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේයි.

එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද දින බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් නොතිබු අතර ඔවුන්ව නීති කෘත්‍යය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

මෙහිදී අගතියට පත් පැමිණිලිකරුවෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාද අධිකරණයට කරුණු දැක්වුවා.

අනතුරුව සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්හේන, රඛිත රාජපක්ෂ ඇතුළු නීතිඥ මණ්ඩලයට විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමිවුණා.

එම කරුණු දැක්වීමට නීතිඥ දසුන් නාගස්හේන මහතා නැගී සිටිමත් සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විවෘත අධිකරණය ඉදිරියේ මෙසේ පැවසුවා.

“තිළිණි වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ ඇමතිතුමාගේ නීතිඥ මණ්ඩලයම ඇවිල්ලා වගේ.” 

එම ප්‍රකාශයට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ නීතිඥ දසුන් නාගස්හේන මහතා සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් කරුණු දැක්වුවා.

“ස්වාමිනි, මම මාගේ සේවාදායිකාව වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකරනවා. ඇයට එරෙහිව සිදුකරන සියලු චෝදනා ඇප ලබාදිය හැකි වැරදි. මොකද ඇය සිදුකළ සියලු ව්‍යාපාර කර තිබෙන්නේ නිත්‍යානුකූලව. එය ලංකා රජයට බදු ගෙවා තිබෙනවා. මේ මුදල් තැන්පත් කර තිබෙන සියලු දෙනා සාමාන්‍ය පුද්ගලයින් නෙමේ. මම අහන්න කැමති මිලියන 226ක් වැනි අතිවිශාල මුදලක් තැන්පත් කරද්දි ඇයි මාගේ සේවාදායිකාවගේ ව්‍යාපාරවල නිත්‍යානුකූලභාවය සෙව්වේ නැත්තේ කියලා. ඒ වගේම මම යෝජනා කරනවා මේ මුදල් තැන්පත් කළ පුද්ගලයිනුත් ඒ මුදල් ඉපයූ ආකාරය සොයන්න කියලා. එම මුදල් ඉපයීම් නිත්‍යානුකූලද නැතහොත් ඒවා කලු සල්ලිද කියන එක අපිත් දැනගන්න කැමති.” 

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සැකකරුවන් වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සැකකාර තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන දෙදෙනාවම නොවැම්බර් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: