hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:49



නිසි ප්‍රතිකාර නොලැබීමෙන් ටීනියා නමැති සමේ රෝගය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වේගයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජේ‍යෂ්ඨ වෛද්‍ය නිලධාරීනි හේමා වීරකෝන් මහත්මිය පවසයි.

මෙම රෝගයේ අවදානම් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වීරකෝන් මහත්මිය මෙසේ ද සඳහන් කළා,

“මේ රෝගය ස්ත්‍රී පුරුෂ, ජාති භේද හෝ කිසිදු වයස් භේදයකින් තොරව ව්‍යාප්ත වෙන්න පටන් ගෙන තියෙනවා. මේ ටීනියා දිලීර ආසාදනය ස්පර්ශය මඟින් හරි, ආසාදිත රෝගියකුගේ ඇඳුම්වලින් හරි තවත් කෙනකුට බෝවෙන්න පුළුවනි. සම මතුපිට තෙතමනය රැඳෙන දහදිය දමන ස්ථාන ලෙස හඳුනා ගන්නා ඉකිළි, කිහිලි, පියයුරුවලට යටින් මුහුණ ආශ්‍රිත ප්‍රදේශවල බහුලව මේ රෝගය දකින්නට පුළුවනි. ඒ වගේම ශරීරයේ ඕනිම තැනක  මේක ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. සමේ කුඩා බිබිළක් විදිහට ආරම්භ වෙලා ක්‍රමයෙන් පැතිරිලා වෘත්තාකාර පෙනුමක් තියෙන පැල්ලමක් බවට පත්වෙනවා. මේ පැල්ලම වටේට සමින් ඉස්සිලා තමයි තියෙන්නේ. මේක රාත්‍රි කාලයට තදින් කසන්න පටන් ගන්නවා. මේ කැසීම හින්දා අවසානයේ තුවාල බවට පත්වෙනවා.

මේ දවස්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය, මැදවච්චිය, නාච්චාදුව, නොච්චියාගම වගේ ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්ත  වෙලා තියෙනවා. මේ රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නකොට නියමිත ඖෂධ නියමිත මාත්‍රාවකින් නියමිත කාලය තුළ ලබා ගන්න ඕනි. එහෙම නොවුණොත් ඖෂධ සඳහා  ප්‍රතිරෝධක ඇතිවෙනවා. සමහර රෝගීන් වෛද්‍ය උපදෙස්වලින් තොරව තමන්ට හිතු මතේට බොන ඒවා හරි මිශ්‍ර කරන දීලිර නාශක ඖෂධහල්වලින් මුදලට අරගෙන පාවිච්චි කරනවා. අද වෙනකොට රෝගය ව්‍යාප්ත වෙන්නේ ඒ හින්දා. සමහර වෛද්‍යවරුත් රෝගීන්ට ඒ විදිහට ඖෂධ පාවිච්චි කරන්න උපදෙස් දීලා තියෙනවා. ප්‍රතිරෝධක තත්ත්වයක් ඇති වුණාම වෙන්නේ ඉතා සුළු අසනීප තත්ත්වයකට පවා ඉහළ මිලක් දීලා ඖෂධ මිලදී ගන්න. මේ රෝගය සඳහා දිලීර නාශක ඖෂධ සති 6ක් ගන්නම ඕනි. හැබැයි කිසිම විටක කවුරු කිව්වත් ඖෂධ මිශ්‍ර කරලා නම් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ රෝගය ව්‍යාප්ත වීමක්. මේ රෝගය වැලඳිලා තියෙනවා නම් දීලිර නාශක විතරක් සති 6ක කාලය තුළ පාවිච්චි කරලා මේ රෝගය රජරට පුරා ව්‍යාප්ත වෙන එක වළක්වන්න සහාය දෙන්න කියලා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයිද ඇය වැඩිදුරටත් පැවැසුවා.