hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02



වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් විදේශ විනිමය සංචිතවලට ඇති විය හැකි බලපෑමෙන් පසුව අපේක්ෂිත විදේශ විනිමය ගලායෑම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සතුව මෙතෙක් නිශ්චිත දත්ත නොමැති බව වාර්තා වේ.

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති බවට පළවන පුවත් තමන් දුටු බව සඳහන් කර ඇති මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් වෙනත් තොරතුරු තමන් සතුව නොමැති බවයි.

කෙසේවෙතත්, වාහන ආනයනයේදී නව බදු ව්‍යුහයක් පනවන බව ඔහු සඳහන් කර ඇත.

නව බදු ව්‍යුහයක් පනවන බව ඔහු සඳහන් කර තිබුණ ද බදු ව්‍යුහය පිළිබඳ විස්තර තමන් සතුව නොමැති බව ද ඔහු සඳහන් කර තිබිණි.

මේ අතර මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.08%ක පමණ බදු ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි.

විදේශ විනිමය පිටතට ගලායෑම ආනයන ගණන මත රඳා පවතිනු ඇති බවට උපකල්පනය කර ඇත.

මේ අතර, ඔක්තෝබර් 01 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර තිබිණි.

රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට පොදු ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීමට තිබූ සීමාවන් ඉවත් කරන අතර වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමාවන් දෙසැම්බර් 1 වැනිදා සිට ඉවත් කරන බවයි.

මෝටර් රථ ඇතුළු අනෙකුත් මගී වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමාවන් 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

විදේශ ඇමැති අලි සබ්රි පවසන පරිදි විදේශ විනිමය සංචිතවල ප්‍රගතිය සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් 2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය හේතුවෙන් රජය 2021 වසරේ වාහන ආනයනය අත්හිටුවන ලදී.

කෙසේවෙතත්, ජුනි මාසයේදී මුදල් අමාත්‍යාංශය පැවසුවේ 2025 වන විට සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: