hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 18, පෙ.ව. 4:18



පොදු කුස්සිය සංකල්පීය අදහසක් පමණක් නොව බවත් එය දැනටත් ගාලුමුවදොර හා පංචිකාවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංකල්පයක් බවත් මේ සංකල්පය මෑතකදී කරළියට පැමිණියත් කලක සිට මහරගම පිළිකා රෝහල ආශ්‍රිත ක්‍රියාත්මක වූ අදහසක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ, පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, වර්ෂි දන්දෙණිය මහත්මිය සඳහන් කරයි.

පුවත්පතක් සමඟ සාකච්ජාවක එක්වෙමින් ඇය සඳහන් කළේ පොදු කුස්සිය තුළ දන්සල සංකල්පයෙන් එහාට ගිය සංවිධානාත්මක ස්වරූපයක් ඇති බවයි.

පොදු කුස්සිය ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස බවත් නිවාස සංකීර්ණයක් විදියට විශාල ප්‍රමාණයෙන් මේ අදහස ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති සේම, අසල්වැසි නිවාස දෙක තුනකට වුණත් මෙය ක්‍රියාත්මක කිරීමට හැකි බවත් පවතින තත්ත්වය තුළ සෑම ගෙදරකම ඉවුම් පිහුම් කිරීම දුෂ්කර කටයුත්කත් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පොදු කුස්සිය සංකල්පය සම්බන්ධයෙන් ඇය මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා සිටියා,

“වෙනත් රටවල දේවස්ථාන ආශ්‍රිතව දුප්පත් මිනිස්සුන්ට කෑම සපයන අයුරු මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒවා බොහෝවිට ක්‍රියාත්මක වෙන්නේ ආධාර මත‍යි. ස්වේච්ඡා සේවකයන් මේ ස්ථානවල වැඩ කරනවා. ඔවුන්ට කරන්න නිශ්චිත කාර්යභාරයක් තිබෙනවා. පොදු කුස්සිය අදහසේ මූලිකම දෙය වෙන්නේ අප සතු සම්පත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට හැකි වීමයි. මෙවැනි සංකල්පයක් ක්‍රියාත්මක කිරීමට පෙර ඉලක්ක කරන පිරිස කවුරුන්ද? යන්න වගේම, පවතින සම්පත් හා අමුද්‍රව්‍ය කවරේද? යන්න, ඒවා පරිත්‍යාග හැටියට ගන්නවාද? නැත් නම් සහභාගීකයන්ගෙන් එකතු කර ගන්නවාද? යන්න ගණනය කිරීමක් කළ යුතුයි. සංවිධානාත්මක බව අනුව මෙහි ඵලදායීතාව තීරණය වෙනවා. සම්පත් කළමනාකරණය කාර්යක්ෂම කළ හැකි ක්‍රමයක් නිසා, එය ධනාත්මක දෙයක් විදියට මා දකිනවා.”