2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:15
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව ඇතැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කොළඹදී ඊයේ (16) පැවසීය.
දේශපාලකයන්ට දේපළ තිබීම වරදක් නොවේ යැයි කී හෙතෙම ප්‍රශ්නය මතුවන්නේ ඒවා අයථා ලෙස උපයාගෙන තිබේ නම් යැයි අවධාරණය කළේ ය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ, වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වන අදහස් උපුටා දක්වමින් කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත අනුව මැතිවරණයකට පෙර එයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දිය යුතු ය.
දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවියේ මහජන විමර්ශනය සඳහා ප්‍රදර්ශනය කෙරේ.
දූෂණ විරෝධී පනතට අනුව ව්‍යාජ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ලැබුණහොත්, ඒවා විමර්ශනය කිරීමේ බලය කොමිසමට පවතී.
එසේ ප්‍රදර්ශනය කෙරුණු වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ වූ අතර තමන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල් මිලියන 275ක දේපළ තමන්ට පවුල් උරුමයෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩිදියුණු කළ ඒවා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ රූපවාහිනි නාළිකාවකට අදහස් දක්වමින් පවසා තිබිණි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙසේ ද කීය.
“අපේ වත්කම් ජුනි 30ට කලින් දීලා තියෙනවා. මේක හොඳ ආදර්ශයක්. අවශ්‍ය අයට බලන්න පුළුවන්. දේශපාලනයට එන්න කලින් වගේ ම දේශපාලනය කරමින් අපි විවිධ වෘත්තීන්හි නිරතව සිට තිබෙනවා. දේපළ තිබීම වරදක් නෙවෙයි. අයථා ලෙස උපයාගත් දේපළ තිබෙනවා ද යන්නැයි සොයා බැලිය යුත්තේ. අපි පක්ෂයක් හැටියට දේපළ තිබීම ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය අයථා විදියට ඉපැයීම. අපේ පවුලේ කෙනකුගේ නමින් තිබෙන වාහන, රත්තරන් බඩු ගැන නිවැරදිව අදාළ අවස්ථාවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මා දන්නා හැටියට වසන්ත සමරසිංහ ඇමතිවරයා වත්කම් බැරකම් ප්‍රකාශ විදියට ඉදිරිපත් කරන්නේ ඔප්පු කරන්න පුළුවන් දේවල්නෙ. ඕක කොහෙන් හරි හොයන් ඔබලා විමර්ශනයක් කළ දෙයක් නෙවෙයිනෙ. අපි ඉදිරිපත් කළ දේවල්නෙ. ඕන වෙලාවක කෙනෙකුට බලන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අයථා ලෙස උපයාගෙන කියලා අභියෝග කළ හැකියි.”
මේ අතර, ආණ්ඩුවේ ඇමතිවරුන් 6 දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ අභියෝගයට ලක්කරමින් තමා ඊයේ (සැප්. 16) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේ යැයි සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන ජාමුනි කමන්ත තුෂාර ‘මව්බිම’ට පැවසීය.
බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි යන ඇමතිවරුන්ගේ හා සුනිල් වටගල යන නියෝජ්‍ය ඇමැතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තමා එම පැමිණිල්ල කළේ යැයි ජාමුනි කමන්ත තුෂාර කීවේය.
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:02
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:27
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:32
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:45
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25