hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 නොවැම්‍බර් 02, ප.ව. 3:40



ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපීය කමිටුවේ 76 වැනි සැසිවාරය පසුගිය 30 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ කෙරුණා.

මෙම රැස්වීම සඳහා කලාපීය සාමාජික රටවල් 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහභාගී වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, අග්නිදිග ආසියා කලාපය සඳහා වන කලාපීය අධ්‍යක්ෂක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථාන නිලධාරීන්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් මේ සඳහා සහභාගී වූ අතර පසුගිය  31 වනදා පවත්වනු ලැබූ සාකච්ඡාවේදී කලාපයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳ සාකච්ඡා වුණා.

මෙම සාකච්ඡාව අවසන් වූ පසු කලාපීය සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් ‘විශ්ව සෞඛ්‍ය ආවරණය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන අංගයක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම පිළිබඳ ප්‍රකාශය‘ට අත්සන් කෙරුණා.

මීට අමතරව පාසල් සෞඛ්‍ය වැඩසටහන් පුනර්ජීවනය කිරීම සහ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම මෙන්ම අග්නිදිග ආසියාවේ කලාපීය සෞඛ්‍ය විශය පථය පුළුල් කිරීම වැනි වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳවද සාකච්ඡා වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ කලාපීය අධ්‍යක්ෂක තනතුර සඳහා අයෙකු තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් ඊයේ (01) දින පැවැති අතර එහිදී බංගලාදේශය නියෝජනය කරමින් පැමිණි සයිමා වසෙඩ් (Saima Wazed)  මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ කලාපීය අධ්‍යක්ෂකවරිය ලෙස තෝරාපත්කරගෙන තිබෙනවා.

ඔක්තෝබර් මස 30 වනදා ආරම්භ වූ මෙම සැසිවාරය ඉතාමත් සාර්ථක අයුරින් පැවැති අතර  එය අදින් (02) අවසන් වීමට නියමිතයි.