hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 11, පෙ.ව. 12:08



මතභේදයට තුඩු දී ඇති චීන නෞකාව තම වරායට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බව හම්බන්තොට වරායේ පාලන අධිකාරිය පවසනවා.

චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව මෙරටට පැමිණීම පිළිබඳ හම්බන්තොට වරාය බලධාරින්ගෙන් සිදු කළ විමසිමකදියි එහි ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කළේ.

දැනට පළවන මාධ්‍ය වාර්තා වලින් පමණක් ඒ පිලිබඳව දැනුවත් වූ බවත්, එසේ නෞනාවක් පැමිණෙන්නේ නම් ඊට වරායට ඇතුළුවිම සඳහා මෙතෙක් අවසරයක් ලබා දී නොමැති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව අද හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව ඉන්දීය එන් ඩී ටීවි පුවත් සේවය වාර්තා කළා.

පෙරවරු 9.30ට එම නෞකාව හම්බන්තොට වරයාට ලඟා වීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ යැයි ඉන්දීය බලධාරීන් සැක පළ කරනවා.

විදේශ ආරක්ෂක විශ්ලේෂකයින් Yuan Wang 5 නෞකාව විස්තර කර ඇත්තේ චීනයේ නවතම පරම්පරාවේ අභ්‍යවකාශ ලුහුබැඳීමේ නෞකාවක් ලෙසය.

චීන වාර්තා පවසන්නේ යුවාන් වැන්ග් නෞකාව මෙහෙයවනු ලබන්නේ චීනයේ මහජන විමුක්ති හමුදාවේ උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි.

මෙම නෞකාව සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් වරාය අධිකාරියේ බලයලත් නිලධාරියා වන හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් පී. සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සඳහන් කරන ලද්දේ මෙම පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට තමා හරහා කිසිදු අනුමැතියක් මෙතෙක් ලබාදී නොමැති බවයි.

“හම්බන්තොට වරායට ඇතුළුවන සියලුම නෞකාවලටත් මා හරහා අනුමැතිය ලබාගත යුතුයි. සාමාන්‍යයෙන් වාණිජ නෞකාවකට නම් කෙලින්ම මගේ ලඟට ඇවිත් අනුමැතිය ලබාගන්න පුළුවන්. නමුත් මෙය පර්යේෂණ නෞකාවක් සහ ඊට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවතින නිසා විදේශ කටයුතු අමාත්යංශය සහ අනෙකුත් වගකිවයුතු ආයතන හරහා අනුමැතිය ලබාගෙන, ඉන් අනතුරුව මගේ අනුමැතිය සඳහා පැමිණිය යුතුයි. මේ වන විට එම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවන්නට එපා යැයි දැනුම්දී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව නෞකාවට වරායට ඇතුළුවීමට අවසරයක් නැහැ. නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු වගකිවයුතු පාර්ශව ඊට අනුමැතිය ලබාදුන්නොත්, මා හරහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට හැකියාව පවතිනවා. හැබැයි එකොලොස්වැනිදා හම්බන්තොට වරායට ඇතුළු කිරීමට නම් අඩුම තරමින් නමවනිදාවත් අදාල අනුමැතිය ලබාගත යුතුයි. නමුත් එවැනි අනුමැතියක් මෙතෙක් ලබාගෙන නැහැ.”

නෞකාව හම්බන්තොටට අගෝස්තු 11 වන දින පැමිණ අගෝස්තු 17දා දක්වා එහි රැඳී සිටින බව චීනය ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, නෞකාව පැමිණීමේ සැලසුමට ඉන්දියාව විරෝධය පළ කිරීමේ පදනමක්ද පවතිනවා.

ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට හානි කරන්නේ නම්, එවැනි අවස්ථාවකදී, විදේශීය හමුදාවකට ශ්‍රී ලංකාවේ වරායන් භාවිත කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ දීම තහනම් කරන ආරක්ෂක ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් තබා තිබෙනවා.

අනෙක් අතට චීන නෞකාව මෙරටට පැමිණෙන කාලය විශේෂයෙන් ඉන්දියාව සංවේදී වන්නේ මෙම වසරේදී පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවේ කඩා වැටෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාර ලබා දී ඇති බැවිනි.

ඉන්දියාවේ විරෝධතා වලින් පසුව, අලුතින් පිහිටුවන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශ්‍රී ලංකා ආණ්ඩුව, යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම “තවත් උපදේශන තෙක්” කල් දමන ලෙස චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේ ඒ අනුවයි.