hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 5:57



හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා නිසියාකාර ව අනුමත වී නොමැති බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් එම නෙරපීම සිදු කර තිබෙන බවත් ඔවුන් ගේ නීතිඥවරු අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළා.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් සාමාජිකයෙකු ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම, නෙරපීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය පැවරී තිබුණ ද ඒ සඳහා විධිමත් විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව සඳහන් කර සිටියා. නමුත් සිය සේවාදායකයා ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට, අදාළ ලිපියේ එවැනි විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කර තිබෙන බවක් පෙනී නොයන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

යම් සාමාජිකයෙකු ගෙන් නිදහසට කරුණු විමසීමේ බලය හා විනය පියවර ගැනීමේ බලය මුළුමනින්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත පැවරී තිබෙන බවත් පක්ෂ නායකත්වයට ඒ සම්බන්ධයෙන් බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. තම සේවාදායකයාට එරෙහි ව විනය පියවර ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නලින් දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ බව සඳහන් කළ ද ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

සිය සේවාදායකයාට එරෙහි චෝදනා පත්‍රයට අත්සන් තැබීම විනය කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු පක්ෂයෙන් නෙරපීමට අදාළ තීන්දුව ගනු ලැබූ රැස්වීමට පක්ෂයේ මහලේකම්වරයා සහභාගි වී නොතිබු බවත් කියා සිටියා. එමෙන්ම නෙරපීමට අදාළ ලිපිය නිකුත් කර තිබෙන්නේ, පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා බවත් ඔහුට එවැනි ලිපියක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පවසනවා.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව යම් සාමාජිකයෙකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිමි වී තිබෙන බව සඳහන් කළා.

සිය සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ දී සාක්ෂි වශයෙන් යොදාගෙන තිබෙන්නේ, පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඔහුට සාධාරණ හා ස්වාධීන විනය පරීක්ෂණයක් නොලැබුණු බවත් පැවසුවා. තම සේවාදායකයා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව සඳහන් කරමින් ඔහු නෙරපා හැරීමට කටයුතු කෙරුණ ද ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන්නේ, ව්‍යවස්ථාවේ කුමන ප්‍රතිපාදනය ද යන්න පැහැදිලි කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් ඒ අනුව පෙත්සම්කරු ගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට වගඋත්තරකරුවන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියා. ඉන් අනතුරු ව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 14 වැනිදා දක්වා කල් දමනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: