hit counter

2024 ජූනි මස 26 වන බදාදා

2024 ජූනි 18, පෙ.ව. 12:05



මාලිමා රජයක් යටතේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කොට, රටට වැඩ නොකරන ජනපති අගමැති ඇතුළු මන්ත්‍රීවරු නියමිත කලට පෙර ධූරයෙන් නෙරපන නව නීති ගෙන එන බව ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

මහනුවර ඊයේ (17) දින පැවැති ජන හමුවකදී ඒ මහතා සඳහන් කළේ මෙම නව නීති ගෙන ඒම සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය කරන බවයි.                                                                                   

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ  ඒ මහතා මෙසේද සඳහන් කළා.

“අද මේ රටේ දේශපාලනය පවුලේ ව්‍යාපාරයක් වෙලා. තට්ටු මාරු ක්‍රමයට බලයට එන හැම එකාම තමන්ගෙන් පසු තමාගේ පවුලේ අය තමයි ඉස්සරහට දාන්නේ. රටේ තියෙන වැදගත් තනතුරු සියල්ලම දෙන්නේ. ඉතින් ඒ අය කරන්න පුළුවන් තරම් වංචා දූෂණ කරලා හත්මුතු පරම්පරාවටම හම්බ කරනවා . බඩුත් ඒ අයගේ අතේ, නඩුත් ඒ අයගේ අතේ ඒ අයට ඕන විදිහට නීතිය නමනවා. අපි දැන් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. ඒකට තමයි මාලිමාවට බලය දෙන්න කියලා අපි ඉල්ලන්නේ.                                                                                                              

මේ රටේ ජනතාව අවුරුදු පහෙන් පහට එක එක මිනිස්සු ගැන විශ්වාසය තියල පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට යවනවා. නමුත් මේ අය ගිහිල්ලා කරන්නේ ජනතාවට කියපු දේවල් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනත් දේවල්. රට ගැන හිතන්නෙ නෑ. රට විකුණලා හරි තමන්ගේ බඩ වඩා ගන්න විතරයි හිතන්නේ. ඉතින් මෙහෙම අය දිගටම තියාගන්නවද. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පිස්සු කෙලිනවා. ඒත් අපිට එයාව ඉවත් කරන්න පුළුවන්ද. ධූර කාලය අනිවාර්යයෙන්ම ඉන්නවා. මේ ක්‍රමය තමයි වෙනස් කරන්න ඕනේ. ඒ නිසාම ජනතාවගේ ඡන්දයෙන් බලයට ඇවිල්ලා ජනතාවට රටට ද්‍රෝහී වෙන අය නියමිත කාලයට පෙර එළවලා දාන්න, පන්නලා දාන්න නීති ගේන්න ඕනේ. අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට යවපු අය අපේ බලාපොරොත්තු රටේ බලාපොරොත්තු විනාශ කරමින් වංචා දූෂණ කරමින් රටට ජනතාවට ද්‍රෝහී වෙනවා නම් ඒ අය නියමිත කාලයට පෙර ඉවත් කිරීමේ නීති ගෙන්න ඕනේ. ඒ වගේම ජනාධිපති හෝ අගමැති පිස්සු කෙලිනවා නම් ඒ අයත් නිසි කාලයට පෙර ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ලබා දෙන්න ඕනේ. මාලිමාව බලයට ආවම අපි මේක කරනවා.                                                                             

ඒ ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප රටට මහා බරක්. රජයේ සේවකයෙක් අවුරුදු විස්සකට වඩා රාජකාරි කරන්න ඕනේ විශ්‍රාම වැටුපක් ගන්න. නමුත් පාර්ලිමේන්තුවට ගියොත් අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප ලැබෙනවා. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනේ. මේ විශ්‍රාම වැටුපට හිමිකම් කියන්න මේ අය මාස තුනකට වරක් පාර්ලිමේන්තු රැස්වීමකට ආවනම් ඇති. මොනතරම් අසාධාරණයක්ද මාලිමා රජයක් බලයට ආ විගස  මේ විශ්‍රාම වැටුප අපි අහෝසි කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ විශ්‍රාම වැටුප විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ හිටපු අයගේ විශ්‍රාම වැටුපත් අපි අහෝසි කරනවා. ඒක අපි කාටත් පොදුයි. මටත් පොදුයි. මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කැමති වෙයිද, පොහොට්ටුව හෝ වෙනත් පක්ෂ කැමති වෙයිද.

ඒ අය කැමති වෙන්නේ නෑ. ඒ නිසයි අපි ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කළ හැකි ආකාරයෙන් තුනෙන් දෙකක බලය අපිට දෙන්න කියලා . අපිට එහෙම බලය ලබා දෙන්න, මේ පවතින රට කන දේශපාලන සංස්කෘතිය සදහටම අහෝසි කරලා රටට ජනතාවට හිතකර නව ව්‍යවස්ථාවක් යටතේ නව දේශපාලන සංස්කෘතියක් අපි බිහි කරනවා. එතකොට පාර්ලිමේන්තුවට හෝ වෙනත් පළාත් පාලන ආයතනයකට යන ඕන කෙනෙක් දන්නවා මම පිස්සු නැටුවොත් ගෙදර යන්න වෙනවා කියලා. එතකොට ඒ අය පාලනයක් ඇතුව වැඩ කරයි. එතකොට රට නිකන්ම හැදෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: