hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 21, ප.ව. 6:34



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ, ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බවයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) අමතමින්ය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බවය.

අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබන බවද ජනපති එහිදී පෙන්වාදී තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, පවතින මූල්‍ය සම්පත්, ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපාන බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතා සිදු කළ සම්පූර්ණ කථාව පහතින්,

“3 වැනි දකුණේ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීම සහ “G77 සහ චීනය” කණ්ඩායමේ සභාපතීත්වය භාරගැනීම සම්බන්ධයෙන් උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතාටත්, උගන්ඩා රජයටත් මාගේ සුභපැතුම් පිරිනමනවා. ඒ වගේම පසුගිය වසර තුළ “G77 සහ චීනය” කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලද ඵලදායී සහ ස්ථීර නායකත්වය වෙනුවෙන් මම කියුබාවටද ස්තුති කිරීමට කැමතියි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් මහතා විසින් 2023 සැප්තැම්බර් මාසයේ හවානාහිදී ‘වත්මන් සංවර්ධන අභියෝග’ මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මෙන්ම හවානා ප්‍රකාශය සම්මත කර ගැනීමට සහාය වීමට ලැබීම පිළිබඳව ද මම සතුටු වෙනවා. අප G77 සහ චීනය කණ්ඩායම පිහිටුවාගෙන වසර 60ක් සම්පුර්ණ වීම සමරන මේ මොහොතේ, බහුපාර්ශ්වික සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම කණ්ඩායම ලෙස එක්සත්ව කටයුතු කිරීම සහ අප මුහුණ දෙන බහුවිධ අභියෝග ජය ගැනීමට ගෝලීය දකුණේ ස්ථාවරය අඛණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි.

G77 සහ චීනය කණ්ඩායමේ ආරම්භක මූලධර්ම වන එකමුතුකම, අනුපූරකත්වය, සහයෝගීතාවය සහ තිරසාර ලෙස බාධක අවම කර ගැනීමට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පදනමක් සකස් කරනු ලබනවා. අද අපි මෙහි හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස්වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා.

වර්ධනය වන මෙම තත්ත්වයන් G77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන්ම අහිතකර ලෙස ද බලපානු ලබනවා. එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහායි.

අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලවල් විසින් පාලනය කරනු ලබනවා. පවතින මූල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපානු ලබනවා.

පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැළපීම නිසා මගේ රට ද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා. දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීම සඳහා ගෝලීය දකුණේ රටවල අවශ්‍යතා සපුරාලීමේදී ගෝලීය මූල්‍ය සැලැස්මේ ප්‍රබල අසාර්ථකත්වයක් දක්නට ලැබෙනවා.

දේශගුණික මූල්‍ය දායකත්වය පිළිබඳව විවිධ ගෝලීය සංසදවලදී සඳහන් වී ඇති නමුත් මේවා ලබා ගත හැකි මූල්‍ය පහසුකම් බවට පරිවර්තනය වී නැහැ. ඩුබායි හී පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් නිවර්තන කලාපිය මුලපිරීම ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍යකරණයේ ඌනතාවය සැලකිල්ලට ගනිමින්, ජෛව විවිධත්වය මෙන්ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශයෙන් පොදු සම්පත් පෝෂණය කිරීම සඳහා පුද්ගලික ආයෝජන උත්ප්‍රේරණය කිරීම එම නිවර්තන කලාපීය මුලපිරීම මගින් අපේක්ෂා කෙරෙනවා.

අද වන විට, ගෝලීය වෙළඳ අනුපිළිවෙල තුළ, ආර්ථික වර්ධනය ඇතිකිරීම සඳහා යොදාගන්නා සම්පත් ප්‍රමාණය අවම කිරීමත් සමගම පාරිසරික හානිය අවම කිරීම මෙන්ම අවදානම ඉවත් කිරීම පිළිබඳ සංකල්ප සමඟින් ආරක්ෂණවාදී ප්‍රවණතාවයෙන්ගේ නැගීමක් අපට දක්නට ලැබෙනවා. ගෝලීය වෙළෙඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම් සිදු විය නොහැකියි. එවැනි නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකක දී නොවෙයි.

අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන්ම උපරිම කාර්යක්ෂමතාව ද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය බ්‍රික්ස් සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් මුහුණ දෙන තවත් අවාසියක් වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. “තාක්ෂණික වෙනස්කම් මගින් නිෂ්පාදන කුසලතා සහ ප්‍රාග්ධනය තීව්‍ර කර ඇති අතර අඩු ශ්‍රමයක් අන්තර්ග්‍රහණය කර ඇත.”

යන ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ වචන වලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙනවා. එමනිසා, ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අතරම, G77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට, බලශක්ති පරිවර්තනය, ඩිජිටල් පරිවර්තනය, හරිත ආර්ථිකය සහ නව ගෝලීය ආර්ථිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව, G77 සහ චීනය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ එක්වෙමින්, සාධාරණ, නීතිගරුක සහ සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙනුවෙන් වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බහුපාර්ශ්විකත්වය තුළින් සාමූහික අවශ්‍යතා ප්‍රවර්ධනය ඉදිරියට සිදුකරගෙන යාම වෙනුවෙන් නව සභාපතිත්වයට පත් යොවේරි මුසෙවේනි මහතාගේ දැක්ම සහ නායකත්වය පිළිබඳ අප විශ්වාසය තබා සිටිනවා. උගන්ඩා නිල සංචාරය තුළදී උගන්ඩා ජනාධිපතිතුමා විසින් මම සහ මගේ දුත පිරිස වෙනුවෙන් දැක්වු මිත්‍රශීලි ආගන්තුක සත්කාර පිළිබඳ ස්තූතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: