hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:28



තනතුරු තිබුණත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් අඛණ්ඩව කටයුතු කරන බව එහි නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා පවසයි.

තනතුරු වරප්‍රසාද පසෙකලා පක්ෂය ඉදිරියට ගෙන යාමට හැකි නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවී තිබෙන බව එහි ක්‍රියාකාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවරදී ඊයේ (29) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා මේ බව සඳහන් කළා.

මැතිවරණ සඳහා සිය පක්ෂය සූදානම් යැයි කීවත් කුමන මැතිවරණයක් පවත්වයිද නැත්නම් මැතිවරණ පවත්වනවාද නැද්ද යන්න පිළිබදව මුලින්ම දැන ගත යුතුව ඇතැයි ඒ මහතා කියා සිටියා.

එක් තැනක පළාත් පාලන මැතිවරණය පවත්වන බව කියන ජනාධිපතිවරයා තවත් තැනකදී එය පැවැත්විය නොහැකි බව කියනවා. ඒ නිසා ඡන්දය තියනවාද නැද්ද යන්න ගැන මුලින්ම දැන ගත යුතුයි. නමුත් කුමන මැතිවරණයක් ආවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කය තුළින් ඔසවා තැබීමට සූදානම් යැයි ද ඒ මහතා සඳහන් කළා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට භාර දෙන විට ණය නොමැති රටක් වූ නමුත් අද රට ණය බරින් මිරීකී ඇතැයි කී ඒ මහතා ණය නොමැති රටක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව යැයිද කියා සිටියා.

පොහොට්ටුවෙ ඇතැමුන් කියන ආකාරයෙන් අකුරු තුනක නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සුබ නොවන බවත් අකුරු තුනේ නායකයෝ බොහෝවිට අසාර්ථක වූ බවත් සඳහන් කළ ඒ මහතා කියා සිටියේ අකුරු හතරේ නායකයෙකු ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය බවයි.