hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 20, ප.ව. 4:20



පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය අවශ්‍ය නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නේ දැයි සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ පිරිසක් තමාගෙන් ප්‍රශ්න කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද ප්‍රකාශ කළා.

“මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඉල්ලා සිටියා මට සභාවේ කතා කරන්න වෙලාවක් දෙන්න කියලා. එවිට මන්ත්‍රීවරයා මගෙන් ප්‍රශ්න කළේ මට සභාවේ කතා කිරීමට වෙලාවක් අවශ්‍ය නම් ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙනවාද කියලයි. ආණ්ඩු පක්ෂයෙන් මට අද කතා කරන්න වෙලාවක් ලැබුණා. මම සභාව තුළ සැසි තුනකට වරක් පමණක් කතා කරන අතර දිනකට පැය භාගයකට වඩා වැඩි කාලයක් සභාවේ කතා කරන තවත් පිරිසක් සිටිනවා” යැයිද ෆොන්සේකා පැවසුවා.

“අධිවේගී මාර්ග සඳහා වෙන් කළ මහජන මුදල් මම කොල්ල කා නැහැ. මම කැසිනෝ හිමියන්ගෙන් මුදල් ලබාගෙන පාසල් සහ රෝහල් සඳහා උපකරණ බෙදා දී නැහැ. විවිධ භාණ්ඩ බෙදා දීලා රටක් දියුණු කරන්න බැහැ. මේ තෑගි පිළිගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලන්නේ නැහැ. ඒ අයට පිළිගන්න පුළුවන් නමුත් නරක ජාන තියෙන අයට ඡන්දය දෙන්න එපා” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“මගේ ආසනයට සමගි ජන බලවේගය නව සංවිධායකවරයෙක් පත් කර තිබෙනවා. මේ සංවිධායකවරයා වෙසක් එකට දන්සලක් තියලා, පිටිපස්සෙ දොරෙන් අරක්කු බෙදුවා,” යැයිද ඔහු පැවසුවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට සමගි ජන බලවේගයේ නායකයා ලබාදුන් ප්‍රතිඥාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා දැඩි විවේචනයට ලක් කළා.

“අපි හිටපු හමුදා සාමාජිකයන් ලෙස මේ රටේ ඒකීය තත්ත්වය පවත්වා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවා. ඡන්ද දිනාගැනීම සඳහා නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කරන තවත් පිරිසක් ඉන්නවා. පොලිස් නිලධාරීන් 600ක් එල්.ටී.ටී.ඊ.යට භාර වෙන්න සලස්සපු අයගේ ජාන මේ නායකයන් ළඟ තියෙනවා. මේ නායකයා පසුව එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කළා.” යැයිද ඔහු පැවසුවා.

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් දූෂිත බවත් එම මන්ත්‍රීවරුන් රට දියුණු කරනු ඇති බවට බලාපොරොත්තු විය නොහැකි බව ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: