hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 5:55



හිරේ සිටිය යුතු අපරාධකරුවන් විශ්වවිද්‍යාල භූමියේම මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විමතියට කරුණක් බව පේරාදෙණිය විශ්ව විද්යාලයේ හිටපු කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.                       

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී 14 දින විශේෂ ප්‍රකාශයක් සිදු කළ ඒ මහතා කියා සිටියේ 13 දින පේරාදෙණිය විශ්ව විද්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර යන අයද තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට පහර දීම මෙන්ම නිල නිවසට අලාභහානි සිදු කළ මැර කණ්ඩායමේ මුලින්ම සිටි අයෙක් වශයෙන් එම මාධ්‍ය හමුව විකාශය වූ අවස්ථාවේ හඳුනාගත් බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා මෙසේද සඳහන් කළා.

“මේ ප්‍රවෘත්ති සාකච්ඡාව දැකලා මම පුදුම වුණා. එදා අපිට පහර දෙන්න ආ ශිෂ්‍ය කණ්ඩායමේ මුලින්ම හිටි කෙනෙක් තමයි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර. ඉතින් මේ වෙනකොට බන්ධනාගාරයේ සිටිය යුතු අයෙක් කොහොමද ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ.  CCTV පරික්ෂා කළත් මේ අය එදා ප්රහාරයේ සිටි අය බව පොලිසියට හඳුනා ගන්න පුළුවන්. එදා රෑ මගේ පුතාට මාංචු දාලා තමයි පොලිස් ජීප් එකේ දාගෙන අරගෙන ගියේ. ඒ ජිප් එකේම තමයි චමෝද් සත්සර හා විදානගමගේ කියන ශිෂ්‍ය නායකයෝ දෙදෙනා ඔවුන් නැවතී සිටින  නවාතැන්පල වෙත රැගෙන ගොස් තිබෙන්නේ. ඔවුන් නවාතැන් පොළෙන් බැහැලා පොලිසියට ස්තුති කරලා තමයි ගිහින් තියෙන්නේ. මේක හරිම පුදුම දෙයක්. ගහපු මිනිස්සු පොලිසිය වාහනේම එයාලා ඉන්න තැන්වලට ගිහින් දාලා තියෙනවා. දැන් මේ අය මගේ පුතා මත්පැන් පානය කරලා හිටිය කියලා බොරු චෝදනාවක් කරනවා. මගේ පුතා මත්පැන් පානය කරලා සිටියානම් රෝහලෙන් ඒ පිළිබඳ වාර්තාවක් පොලිසියට දෙන්න ඕනේ. එහෙම දෙයක් තවම ලැබිල නෑ. මේ අය තමන්ගේ වැරදි වහගන්න හැමදාම කරන දෙයක් තමයි ඔය චෝදනාව.                                                      

ඔය ශිෂ්‍ය සංගම් නායකයෝ විශ්වවිද්‍යාල පරිපාලයට පවා බලපෑම් කරනවා. මේක ඉතාමත් නරක තත්වයක්. විශ්වවිද්‍යාල වල පවතින යල් පැනගිය නීති රීති හා අණපනත් අනිවාර්යයෙන්ම වර්තමානයට ගැලපෙන පරිදි  යාවත්කාලීන විය යුතුයි. මම දැකලා තියෙනවා විදෙස් විශ්වවිද්යාලවල ශිෂ්‍ය, ආචාර්ය ආරක්ෂාවට පොලිස් ඒකක ස්ථාපිත කරලා තියෙනවා. ලංකාව නිදහස් අධ්‍යාපනය තියෙන රටක්. රජයෙන් ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙනවා. ශිෂ්‍ය, ආචාර්ය, කාර්ය මණ්ඩලයේ වගේම මේ භෞතික සම්පත් ආරක්ෂාව  සඳහා මෙරට සෑම විශ්වවිද්යාලයකම පොලිස් ඒකක ස්ථාපිත කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ආරක්ෂකයන්ට පාලනය කරන්න බෑ. ඊට අමතරව මේ විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසක් මේ වන විට මත්ද්රව්ය භාවිතා කරනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේ තත්ත්වය පාලනය නොකළොත් ඉදිරියේදි බරපතළ පලවිපාක වලට මුහුණ දෙන්න වෙනවා.” යනුවෙන්ද මහාචාර්යවරයා වැඩිදුරටත් කීය.

Example Image