hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 27, පෙ.ව. 12:06



පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට යකඩ සහ ෆෝලික් අම්ලය අන්තර්ගත කෘත්‍රිම සහල් එක් කිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය.

මෙම වැඩපිළිවෙළ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ 2018 වසරේ ජූලි මස 31 වැනිදා ය. ඒ රක්තහීනතාව සහ රක්තහීනතාව සම්බන්ධ ගැටලු අඩු කර ගැනීම සඳහා සුලභව භාවිත කරන ප්‍රධාන ආහාර, යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය යන මැයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව ය.

යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සහල් සහ තිරිඟු පිටි ඇතුළු ප්‍රධාන ආහාර සබලකරණය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීම, පරිභෝජනය කරන සියලු තිරිඟු පිටි යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය අනිවාර්ය කිරීම, යකඩ සහ ෆෝලික් අම්ලය යෙදූ සහල් ඇට තීරු බදු රහිතව ආනයනය කිරීම ඇතුළු යෝජනා ගණනක් එම පත්‍රිකාවේ අන්තර්ගත විය.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ ඒ වන විටත් යකඩ සහ ෆෝලික් අම්ලය යොදා සබලකරණය කරන ලද එනම්, යකඩ සහ ෆෝලික් අම්ලය යොදා නිෂ්පාදනය කළ කෘත්‍රිම සහල් මෙට්‍රික් ටොන් 19800ක් ලෝක ආහාර වැඩසටහන මගින් ආනයනය කර නොමිලේ සැපයීමේ එකඟතාවක් ද සමගිනි. ඇමරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සහාය ද ඒ සඳහා ලැබෙන්නේ ය.

එලෙස ආනයනය කෙරෙන කෘත්‍රිම සහල් දේශීය සුදු නාඩු සමග මිශ්‍ර කර පාසල් දිවා ආහාර වැඩසටහනට සැපයීමේ කාර්යය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය භාර ගෙන තිබිණි. මිශ්‍ර කිරීම යනු දේශීය සුදු නාඩු සහල් ඇට 99කට කෘත්‍රිම සහල් ඇටයක් එකතු කිරීම ය. කෘත්‍රිම සහල් එලෙස මිශ්‍ර කෙරෙන්නේ අනුරාධපුරය කලන්කුට්ටිය සහල් සබලකරණ මධ්‍යස්ථානයේ දී ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව, තඹුත්තේගම, කැකිරාව, ගලෙන්බිඳුණුවැව, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපවල දරුවන්ට ඒවා ලබා දෙයි. ඉදිරියේ දී අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, කුරුණෑගල, අම්පාර, මඩකලපුව, බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල දී පමණක් පාසල් දරුවන්ගේ ආහාර වේල් විසි තුන් ලක්ෂයකට පමණ සබලකරණය කරන ලද සහල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පහක් ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් පාසල්වලට ලබා දී තිබේ. මෙලෙස අඛණ්ඩව පාසල්වලට සහල් ලබා දීමේ දී මණ්ඩලය මේ වන විට ප්‍රතිපාදන සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටියි. එහෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ පවතින මුදල් ලබා ගැනීමේ වුවමනාවක් මණ්ඩලයට ඇති වී තිබේ. පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ එක් ආහාර වේලක ව්‍යංජන හැර සහල් සඳහා පමණක් අමාත්‍යාංශය වැය කරන මුදල රුපියල් දාහතරකි.

එලෙස වැය කරන රුපියල් දාහතරක මුදල ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට ලබා දීම සඳහා වන යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එහි අරමුණ වී තිබුණේ තවත් දිස්ත්‍රික්ක දොළහක මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීම ය.

එහෙත් එම ඉලක්කය සපුරා ගැනීමට එම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට නොහැකි වී තිබේ. මන්ද අනෙක් පළාත්වල එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර උතුරු මැද ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල අධ්‍යයනය කළ යුතුය යන්න මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කිරීම ය. එලෙස අධ්‍යයනය කිරීමෙන් පසු සියලුම පළාත්වලට එම ව්‍යපෘතිය පුළුල් කිරීම සුදුසු බව ද ජනාධිපතිවරයා සිය නිර්දේශයේ සඳහන් කර තිබේ.

මෙම කෘත්‍රිම සහල් ලබා දෙන්නේ රක්තහීනතාවෙන් පෙළෙන දරුවන් සඳහා ය. මෙම වසරේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන්නේ 2018 වසරේදී ලබා ගත් පාසල් දරුවන්ගේ පෝෂණයට අදාළ දත්ත පදනම් කර ගනිමිනි. එය කෙතරම් අවිද්‍යාත්මකදැයි වෛද්‍යවරුම මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති. දරුවන්ගේ පෝෂණ ඌනතාවක් සපුරාලීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් නාඩු සහල් ඇට අනූ නවයක් සමග කෘත්‍රීම සහල් ඇටයක් මිශ්‍ර කිරීමෙන් පසු පිසින ආහාර වේලක අනිවාර්යයෙන්ම එම සහල් ඇටයක් අන්තර්ගත වන්නේය යන්න තහවුරු කරගැනීම කිසිසේත් කළ නොහැකිය යන්න සාමාන්‍ය තත්ත්වයකි. එක් සිසුවකුට එක් ආහාර වේලකදී කෘත්‍රිම සහල් ඇට සියයක් ශරීර ගත වන විට තවත් සිසුන් සියයකට එක් සහල් ඇටයක් හෝ ශරීරගත නොවිය හැකි ය.

මේ අතර රක්තහීනතාවෙන් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් තොරව මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ රහසිගත වුවමනාවක් ඇතිදැයි සැක මතුවෙන සාකච්ඡාවක් පසුගිය දා අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.

අධ්‍යාපන, සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඇතුළු ක්ෂේත්‍රවල නියෝජිතයන් කැඳවා තිබූ මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වය දැරුවේ අගමැති ලේකම් අනුර දිසානායක ය. ඉහත සැකය තවත් තීව්‍ර වන්නේ එම සාකච්ඡාවට කෘත්‍රිම සහල් නිෂ්පාදනයට සම්බන්ධ ඉන්දීය ජාතිකයකු ද සහභාගි වීම හේතුවෙනි. එමෙන් ම මෙම වැඩසටහනට සම්බන්ධව සිටින ඇමරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නියෝජිතයකුද ඊට එක්ව සිට ඇත. එම පදනමට සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයකු ජනාධිපති කාර්යාලයේ ඉහළ ම තනතුරක් දරන්නකුගේ ඥාතියෙක් බව පැවසේ.

දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර තීන්දු තීරණ ගැනීමටත් පෙර එම කෘත්‍රිම සහල් මෙරට නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබු බව ඊට එක් වූ ඇතැම් නියෝජිතයන්ගේ අදහස වී තිබිණි. එමෙන් ම රක්තහීනතාවෙන් පෙළෙන දරුවන් ඇතුළු සියලු ම ප්‍රාථමික පාසල් දරුවන්ට එම සහල් ලබා දීමේ අවශ්‍යතාවක් එම සාකච්ඡාවේ දී ගම්‍ය වූ බවද ඔවුහු සඳහන් කළහ.

රක්තහීනතාවෙන් පෙළෙන දරුවන් හඳුනාගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ඖෂධ ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මෙහිදී පෙන්වා දී තිබෙන වෛද්‍යවරු සියලුම දරුවන්ට කෘත්‍රිම සහල් ලබා දීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වන බව පවසා තිබේ.

මෙම කෘත්‍රිම සහල් අවශ්‍ය ප්‍රමාණයට මිලට ගැනීමට ඉන්දියාවේ වෙළෙඳපළේ පවතින බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: