2025 ජනවාරි 26, පෙ.ව. 12:06
සැපේදිත්, දුකේදිත් සෙවණැල්ල සේ ළඟින් සිට සසර ආ පුරුදු ලෙස ආදරය, රැකවරණය අදත් සමසිත්ව දෙන ඇය මානෙල් වානගුරු නම් වන්නීය.
ඇයගේ ආදරය, රැකවරණය ලබන ඔහු ආනන්ද වික්‍රමගේ ය. සිංහල සිනමාවේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් වූ ඩඩ්ලි සැමුවෙන් වානගුරුගේ ආදරණීය දියණිය ඇයයි.
තම පියා අතීතයේ රඟපෑ “එදා රෑ, හදිසි විවාහය, ගැහැනු ගැට, පටාචාරා” වැනි චිත්‍රපට බොහෝමයක් අදටත් රසික සහෘදයින්ගේ මතකයේ ඇත.
ඔහුගේ ආභාසයෙන් සිනමා රංගනයට පිවිසි මානෙල් වානගුරු සිනමාව පමණක් නොව වේදිකා නාට්‍යවල ද ටෙලි නාට්‍ය ගණනාවක ද රංගනයෙන් දායක වී ඇත.
විශේෂයෙන් හාස්‍ය රංගනයෙහි ද ඉතා දක්ෂ වූ ඇය විවාහ වන්නේ ද රංගනයෙන් බොහෝ ජනප්‍රියත්වයක් ලැබූ ආනන්ද වික්‍රමගේ සමඟය.
මේ දෙපළගේ පුතුන් දෙදෙනා වන ජනිත් වික්‍රමගේ සහ සංකෙත් වික්‍රමගේ ද රංගනයෙහි දක්ෂයෝ ය.
පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඔවුන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.
ආනන්ද වික්‍රමගේ ඔබට හමු වන්නේ කොහොමද…?
ටෝනි රණසිංහ සහ බන්දුල විතානගේ නිර්මාණය කළ ‘වැනිසියේ වෙළෙන්දා‘ නාට්‍යයේ පෝෂියාගේ චරිතය රඟපාන්න මට ලැබුණා. එම නාට්‍යයේ බැසෑනියෝගේ චරිතයට ආනන්ද වික්‍රමගේ පසුව සම්බන්ධ වුණා. ඔහු සුගත් සමරකෝන්ගේ නාට්‍යයක දේශපාලුවාගේ චරිතය රඟපානවා මම ඊට පෙර දැක තිබුණා. නාට්‍ය පුහුණුවීම් කරද්දි අපි ඇසුරු කළාට ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. පස්සේ එහෙම අදහසක් ඇති වුණාම මගේ ලොකු අයියා ඒකට ගොඩාක් විරුද්ධ වුණා. රඟපෑමෙනුත් අයින් වෙලා ගෙදර ඉන්න කිව්වා. නළුවෙක් ඔයාට ගැළපෙන්නේ නැහැ කිව්වා. මම ඒ වෙලාවේ අයියාට සහ ගෙදර හැමෝටම කිව්වේ ‘පොල් සම්බෝලයි බතුයි කන්න හරි මම නළුවෙක් බඳින්න කැමතියි’ කියලා යි. එහෙම තමයි ආනන්දයි මමයි 1983 දී විවාහ වුණේ. අපි දෙන්නා නිර්මාණ ගණනාවකට එකට සම්බන්ධ වුණා. දැන් නම් ආනන්ද අසනීප වෙලා ගෙදර ඉන්නවා. එයා රඟපාන්න යන්නේ නැහැ. ආනන්දගේ අසනීපවලට බෙහෙත්වලට ඩොක්ටර් ළඟට එක්කගෙන යන්න ලොකු වියදමක් යනවා. පුළුවන් හැටියට අපි ඒ දේවල් කරගන්නවා. පුළුවන් කාලේ කොච්චර හම්බ කළත්, යම් ප්‍රමාණයක් ඉතුරු කළත් වියදමක් කරන්න ලෙඩක් දුකක් හැදුණාම අද කාලේ තියෙන වියදම් එක්ක ඉතුරු කරන මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පරිණත ප්‍රවීණ රංගන ශිල්පීන් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවෙන් සුලු මුදලක් ගෙවනවා. නමුත් ඒ මුදල අද කාලෙට ප්‍රමාණවත් නැහැ. අපේ රටේ කලාකරුවන් බොහෝමයකට මේ තත්ත්වය පොදුයි. අපි අනුන් සතුටු කරන්න ජිවිතයම කැප කළා නේද කියලා හිතලා කවුරුත් ඇවිත් අපිව සතුටු කරන්නේ නැහැ. කලාකරුවන් බොහෝ දෙනෙක් ජීවිතයේ අවසන් කාලයේ අසරණ වෙන්නේ මෙන්න මේ නිසයි. අනාගත රැකවරණයක් ඔවුන්ට තිබිය යුතුයි. වයස සීමාවක් නැතුව කලාව වෙනුවෙන් ඇඟේ හයිය තියෙනකන් වැඩ කළත් බැරි වුණාම ජීවත් වෙන්න ස්ථිර වැඩපිළිවෙළක් නැහැ. ඒක ලොකු අඩුපාඩුවක් මේ ක්ෂේත්රයේ හැමෝට ම බලපානවා. ඉතින් මම ආනන්දගේ වැඩ ටික කරගෙන ගෙදර වැඩ ටිකත් මගේ අතින් ම කරලා වෙලාව කළමනාකරණය කරගෙන කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. ජනිත් ලොකු පුතා අපි දෙන්නා ළඟම සෙවණැල්ල වගේ ඉඳගෙන අපි දෙන්නාගේම හැම දේකටම උදව් කරනවා. සංකෙත් පොඩි පුතා විවාහ වෙලා විදේශගත වුණා. එයාලාටත් දැන් පුංචි පුතෙක් ඉන්නවා. පුතාලා දෙන්නාම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේයි. පාසල් කාලයේ සිට ම ඒ දෙන්නා නාට්‍ය රංගනයටත් දක්ෂතා දැක්වූවා. ජනිත් රංගන කටයුතුත්, නිවේදන කටයුතුත් කරනවා. සංකෙත්ටත් රංගන ක්ෂේත්රයේ ලොකු ඉල්ලීමක් තියෙනවා. එයා ලංකාවට ආව වෙලාවට නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙනවා.
ආනන්ද වික්රමගේත් කුඩා කල පටන් කලාවට දක්ෂ සහ කලා කටයුතු බොහොමයකට සම්බන්ධ වුණු කෙනෙක් නේද…?
ඔව්. ආනන්ද පුංචි කාලේ ඉඳලා පන්සලත් එක්ක දහම් පාසලත් එක්ක බැඳුණු කෙනෙක් හැටියට දහම් පාසලේ නාට්‍ය, ගායනා ආදි නොයෙකුත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. එයා කොල්ලුපිටියේ ඉපදිලා කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලත් එක්ක සමීපව කටයුතු කර තිබුණා. එයාගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව කළා. ආනන්ද පවුලේ බාලම දරුවා. එයා කොළඹ ඉසිපතන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබුණා. එම පාසලේ ගුරුවරයෙක් ලෙස එවකට අති දක්ෂ රංග ශිල්පියෙක් වූ උපාලි අත්තනායක මහතා සේවය කර තිබුණා. ඔහුගේ නාට්‍ය බලන්න යන්න ආනන්දට ආරාධනා පත්‍ර, ටිකට් පත් උපාලි අත්තනායක මහතා ලබා දී තිබුණා. එහෙම තමයි ආනන්ද කලාවට බැඳෙන්න පටන් අරන් තියෙන්නේ. උපාලි වනසිංහගේ ‘සයිලාසනය’ නාට්‍යයට මුලින් ම සම්බන්ධ වෙලා තිබුණා. ඊට පස්සේ තමයි ‘වැනිසියේ වෙළෙන්දා’ නාට්‍යයට ඔහු සම්බන්ධ වුණේ. ඔහු රඟපෑ ‘උතුරේ රාහුල’, ‘අමල් බිසෝ’, ‘නල්ලතම්බි’, ‘නෙයිනාගේ සූදුව’ වගේ නාට්‍ය බොහෝ ජනප්‍රිය වුණා. 1976 වර්ෂයේදී හොඳම නළුවා සම්මානයත් ලැබුණා. ඊට පස්සේ චිත්‍රපට ගණනාවකත් එයා රඟපෑවා. මුලින් ම “චූඩා මාණික්‍ය” චිත්‍රපටයේ රඟපෑවා. මිල්ටන් ජයවර්ධනගේ චිත්‍රපට කිහිපයක ම රඟපෑවා. යසපාලිත නානායක්කාරගේ “පටලැවිල්ල” ටෙලි නාට්‍යයේ ආනන්ද ද්විත්ව චරිත නිරූපණයක නිරත වුණාට පස්සේ දිගින් දිගට ම එයාට හාස්‍ය චරිත ලැබෙන්න පටන් ගත්තා. රෝයි ද සිල්වාගේ නිර්මාණ ගණනාවක එයා රඟපෑවා. ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘පබා‘ නාට්‍යයේ කළ මර්වින්ගේ චරිතයත් බොහෝ ජනප්‍රිය වුණා. ඒ අතර ඔහු නිර්මාණ පහක් ම අධ්‍යක්ෂණය කළා. තිර පිටපත් රචනයත් ඔහු කළා. විශාල පිරිසක් එක්ක හිටිය ආනන්දට අද ඉන්නේ අපි විතරයි. ඔහු අද ගෙදර හුදෙකලාව සිටිනවා. අපේ රටේ කලාකරුවන්ගේ උරුමය එය යි. ඒ ගැන නම් දුකයි. ඒත් ඉතින් කවදා හරි අපි මේ ජීවිතයෙන් සමුගෙන යන්නේ තනිවමනේ. ඒ දහම ගැන හිතලා ජීවිත අවබෝධය ලබා ගන්නවා. ඒ නිසා දුක් වෙන්න දෙයක් නැහැ.
2025 ජනවාරි 28, පෙ.ව. 12:06
2025 ජනවාරි 27, පෙ.ව. 12:11
2025 ජනවාරි 25, පෙ.ව. 12:15
2025 ජනවාරි 24, පෙ.ව. 12:28
2025 ජනවාරි 24, පෙ.ව. 12:04
28-01-25
28-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
26-01-25
26-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25