hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:04



කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා.

ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.

එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි.

අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක්.

ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි.

අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි.

ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා.

ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්.

පසුගිය දවසක පැවැත්වුණූ එක්තරා සම්මාන උළෙලක දී ජනප්‍රිය ගායිකා අභිෂේකාගේ භූමියට තවම පණ තියෙනවා කියන ගීතය සම්මානනීය ගීතයක් බවට පත් වෙනවා.

එම සම්මාන උළෙලේදී අභිෂේකා විමලවීරගේ හැසිරීම විවේචනය කරමින් කසුන් මහේන්ද්‍ර ලියමනක් සිය මුහුණුපොතට එකතු කර තිබුණා.

කොහොම වුණත්, අභිෂේකා විමලවීර සිය අතපසුවීම ගැන සඳහන් කරමින් සමාව අයැදීමක් සිදුකර තිබුණා.

ඒ සඳහා මාධවී ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ අභිශේකාව දරුණු ලෙස විවේචනය කරමිනුයි.

කසුන් මහේන්ද්‍ර මේ ගැටුම ගැන තවත් තොරතුරු බොහෝමයක් පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කර තිබුණේ මෙලෙසයි.

සම්මානයක් සම්බන්ධයෙන් ඔබගෙ යම් ප්‍රකාශනයක් නිසා සමාජ මාධ්‍ය පසුගිය දින කිහිපය තුළ ඇවිළුණා. ඔබ ඒ සම්බන්ධයෙන් දරන මතය මේ වන විට යම් වෙනසක් වෙලාද ?

කිසිසේත්ම නෑ. ඇත්තටම ඒ සම්මාන උලෙළ “මියුසික් වීඩියෝ” සඳහා සම්මාන ප්‍රදානය කෙරුණු උළෙලක්. එහිදී මා විසින් සංකල්පය සාදා, තිර පිටපත තනිවම ලියා, එහි සම නිෂ්පාදනය ද සිදුකොට අධ්‍යක්ෂණය කෙරුණු ‘භූමියට තවම පණ තියෙනවා’ කියන සුප්‍රකට මියුසික් වීඩියෝව ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. එහිදී පැහැදිලිවම එහි නිවේදකයා ප්‍රකාශ කර සිටියේ මේ ගීතයේ ‘කණ්ඩායම’ වෙනුවෙනුයි මේ විශේෂ සම්මානය හිමිවන්නේ කියා. නැතුව එය තනි කෙනෙකු වෙනුවෙන් ලැබුණු ජූරියේ විශේෂ සම්මානයක් නෙමෙයි. ඒ වගේම එහි ජූරිය විසින් මෙන්න මෙහෙම සම්මානයට අදාළ හේතු පාඨය ගෙනහැර දැක්වූවා. විෂම ලිංගික ආදරය වගේම සම්මත යැයි තහවුරු කෙරුණු අධිපති කතිකාවක් අභියෝගයට ලක් කරන සංකල්පයක් පරිකල්පනය වෙනුවෙන් හා එකී අභියෝගය යථාර්ථයක් කිරීමට කැපවීම වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය හිමි වන්නේ’ දැන් ඔබට තීරණය කරන්න පුළුවන් මෙම සම්මානය ලැබුණේ ගායනය වෙනුවෙන් ද එහෙමත් නැත්තං සංකල්පය සහ මියුසික් වීඩියෝව නිර්මාණය කිරීම වෙනුවෙන් ද කියලා.

මෙම සිද්ධියට පෙර ඔබ හා අභිෂේකා අතර යම් අමනාපයක් තිබුණද ?

අනේ නැහැ. කවදාවත් නෑ. මේ ගීතයේ ඕඩියෝ ට්‍රැක් එකත් අරං මාව සොයාගෙන ආවෙත් ඇයමයි. ඒ වගේම අතේ සල්ලි නෑ මියුසික් වීඩියෝව කරන්න ඒකට නිෂ්පාදකයෙක් හොයාගන්න ඕනිත් කිවුවෙ ඇයමයි. එතකොට මා එක්ක නිර්මාණයක් කරන්න ආසාවෙන් හිටපු මාත් එක්ක නීති පීඨයේ එකට අධ්‍යාපනය ලබපු දැනට විදේශගතව සිටින ‘නිපුනි අමරසිංහ’ නම් මගේ මිතුරියට මං මේ යෝජනාව කරනවා. ඈ තනිකරම මාව විශ්වාස කරලා මෙය නිෂ්පාදනය කරන්න කැමති වෙනවා. මේ මියුසික් වීඩියෝව විශාල මුදලක් යොදවපු වැඩක්. ඒ නිසා මෙහි සම නිෂ්පාදනය වෙනුවෙන් මුදල් වියදම් කෙරුවෙ මං.අදාළ සම්මාන උලෙළේ අපේ මේ ගීතය වෙනුවෙන් සම්මානයක් ලැබෙන බව මට මුලින්ම දැනුම් දුන්නෙ අභිෂේකාමයි. ඇයට එය අදාළ චැනලයේ හිතවත්කමකින් දැනගන්න ලැබුණු බව පැවසුවා. මට හිතාගන්න බෑ සම්මානයක් අපේ ගීතයට ලැබෙන බව අපිටත් කියපු, හැමෝටම කලින් ඒ ගැන දැනන් හිටපු අභිෂේකා ඇයි ඒක ලැබුණම කලබල වුණේ, කන්ෆියුස් වුණේ කියලා. ඇය මේ සියල්ල කලින් දැනගෙන කතාවක් සූදානම්වයි පැමිණ තිබුණෙ. කණ්ඩායමට සම්මානය හිමිවූ වෙලාවෙ අදාළ ගායිකාව වේදිකාව උඩ හැසිරුණේ මේ සියල්ල ඇය තනිවම කළා වගේ හැඟීමකින්. ඒ වෙලාවෙ ඇය විශේෂයෙන් භූමි හරේන්ද්‍රන් ගැනත් අශාන් ඩයස් ගැනත් මතක් කළා. දරුවන් නැති ඇගේ පරණ යෙහෙළියක් ගැනත් මොන මොනාවද කිවුවා. අපේ මියුසික් වීඩියෝවෙ සංස්කාරක ‘හසිත ජයසංඛ’ සහ මම හිටියෙත් එතැනමයි. අපි දෙන්නව ඇස්දෙකට පෙනි පෙනී ඇයට අපිව අමතක වුණා. ඒක හරිම අසාමාන්‍ය දෙයක්. ඒ ගැටලුව ගැන සමාජ මාධ්‍යයේ ලියනවාද නැද්ද කියා මා දහස් වතාවක් කල්පනා කළා. නමුත් එම ගායිකාව විසින් මෙය ඇයට පමණක් ලැබුණු සම්මානයක් බව තැන තැන කියමින් යන නිසාත්, ඇගේ සමාජ මාධ්‍යයන් වල මෙය ඇයට ලැබුණු දෙයක් පමණක් හැටියට වර නඟා තිබූ නිසාත් තමයි ‘ඇත්තම කතාව’ ලෝකෙ දැනගන්න ඕනි කියලා මටත් මගේ කණ්ඩායමටත් සිතුණා. කොහොම නමුත් අදටත් මට අභිෂේකා එක්ක තරහක් නෑ. කලකිරීමක් පමණයි තිබෙන්නෙ. මං ලේ කිරි කරලා පොවපු මගේ දරුවෙක්ට දැඩි අසාධාරණයක් කළා වගේ හැඟීමක් මට දැනෙනවා.

අතපසු වීමක් නොසලකා හැරීම තවත් එවැනි සිද්ධීන්වලට අනුබල දීමක් කියා ඔබ හිතනවද ?

අනිවාර්‍යයෙන්ම. සමාජ අසාධාරණයන්වලදි ඊට විරුද්ධව අරගල කරපු මිනිස්සු ,ගැහැනු තමයි මේ ලෝකෙ වෙනස් කළේ වගේම අලුත් කළේ. යම් අසාධාරණයක් වුණාම ඒක වෙච්ච කෙනා, ඒකට මුහුණ පෑව කෙනා තමයි ඒ වේදනාව ගැන දන්නෙ. කතාවටත් කියන්නෙ ‘තුවාලෙ වේදනාව දන්නෙ තුවාල වෙච්ච මිනිහා’ කියලා. මං ප්‍රසිද්ධියෙ සමාජ මාධ්‍ය අවකාශයේ මේ අසාධාරණය ගැන කතා කළේ ‘කණ්ඩායම් හැඟීමෙන්.’ සහ නැවත එවැනි දෙයක් කවදාක හෝ අදාළ ගායිකාවගෙන් හරි වෙනත් කෙනෙක්ගෙන් හරි තවත් නිර්මාණකරුවෙක්ට නොවේවා යැයි යන යහපත් හැඟීමෙන්. මං හිතන්නෙ ඒක සාර්ථකයි. අපේ කලා ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා මට පෞද්ගලිකවම කතා කරලා කිවුවා ‘ඔයා කරපු දේ හරියට හරි. කවුරුහරි කට අරින්න ඕනි නැත්තන් හැමදාම වෙන්නෙ ඕකම තමයි’ කියලා. මං විශ්වාස කරන කලාව සාමූහිකයි. නිර්මාණවලට වඩා ඇත්තටම ලස්සන වෙන්න ඕනි කලාත්මක හදවත්.

තවම පණ තියෙනවා ගීතය වෙනස් මානයකට ගෙනියන්න ඔබගෙන් වූ ක්‍රියාදාමය කෙටියෙන් කීවොත් ?

අදාළ ගායිකාව මෙහි ගීත ඕඩියෝව මුලින්ම මට යොමු කළා. ඇගේ ඔළුවෙ තියෙන යම් කතාවක් ඇය මට පැවසුවා. මං ඒක එකහෙළා බැහැර කළේ එය අතිශය සාම්ප්‍රදායික නිසායි. ඇය මට ඒ සිතීමට නිහතමානීව ඉඩදුන්නා. අන්න එහෙම සති කිහිපයක් දිවා රෑ නැතුව හිතලා හිතලා තමයි ‘භූමියට තවම පණ තියෙනවා’ වීඩියෝවෙ දැන් තියෙන ඔය කතාව මං තනිවම නිර්මාණය කළේ. ඉන්පස්සෙ මගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා සම්පූර්ණ සාමූහික මහන්සියෙන් තමයි ඔය මියුසික් වීඩියෝව හැදුවෙ. ඒක යූ ටියුබ් අවකාශයෙ අඩුම කාලයකින් ‘ට්‍රෙන්ඩින් වන්’ වුණේ අපේ ටීම් වර්ක් එක නිසාමයි. එහි ගෞරවය මගේ සිට අපේ කණ්ඩායමේ තේ හදන මහත්මයා දක්වාම හිමිවිය යුතුයි. අපේ නිර්මාණාත්මක මහන්සිය සම්මානයකට වඩා සෑහෙන්න විශාලයි !





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: