hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 6:08



දැඩි මානසික ආතතිය නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ අංජන කුලතුංග සිය දිවි නසා ගත් බව කියැවුණේ පසුගිය 16 වැනි සිකුරාදා රාත්‍රියේ.

එදින රාත්‍රි 8.00ට පමණ තම අත් අකුරින් ලියූ අවසන් සංවේදී ලිපිය කාමරයේ මේසය මත තබා ඔහු පිටත්ව ගොස් තිබුණේ කරේ තිබූ පුංචි චේන්පොට, මුදල් පසුම්බිය හා ජංගම දුරකථනයද පමණක් නොව ලැප්ටොප් පරිගණකය පවා එහි සුරක්ෂිතව රඳවා තබමින්.

කෙසේ හෝ ඊට දින කිහිපයකට පසු එනම් 21 වැනි බදාදා හවස් වරුවේ අංජන කුලතුංගගේ මෘතදේහය මහවැලි ගඟ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ පා වෙමින් තිබියදී සොයා ගත්තා.

“අනේ මගේ පුතා! ඇයි එයා මෙහෙම දෙයක් කර ගත්තේ? හැමදාම මට කතා කරලා හැමදේම අකුරක් ගානේ කියන මගේ පුතා!” අංජනගේ අම්මා ඇඬූ­ කඳුළින් ප්‍රශ්න කළේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිවයි.

ගම්පහ, වීරඟුල පොලිස් බල ප්‍රදේශයේ පිටුවැල්ගොඩ පදිංචි අංජන කුලතුංග පවුලේ වැඩිමහල් දරුවා.

ඔහුට සිටින්නේ එක් සහෝදරියක්.

කෙසේ හෝ පසුගිය 21 වැනි සිකුරාදායින් පසුව අංජනගේ දුරකථනය විසන්ධි වී තිබීම හා අංජන ගැන කිසිදු ආරංචියක් නැතිකම නිසාම ඔහුගේ මවුපියෝ පේරාදෙණිය පොලිසිය වෙත ගොස් තිබෙනවා.

ඔවුන් අංජන සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේ ඔහු ගැන හෝඩුවාවක් සොයාදෙන ලෙසයි. 

මේ ආරංචියත් සමඟ අංජනව ළඟින් ඇසුරු කළ යහළු යෙහෙළියන් පවා කළේ වහ වහා ඔහු ගැන සොයා බැලීමයි. 

එමෙන්ම සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරමින් තම කුලුපග මිතුරා සොයා දෙන ලෙස ඔවුහු බැගෑපත් වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනකි

එහෙත් අංජන ගැන හරි හැටි විශ්වාස කළ හැකි කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ.

කෙසේ හෝ අංජනගේ මවුපියන් පොලිසියට කළ පැමිණිල්ල අනුව පේරාදෙණිය පොලිසිය වහා ගියේ ඔහුගේ නවාතැන්පොළ වෙතටයි.

එහිදී පොලිසියට වැදගත් සාක්ෂියක් ලෙස ලැබුණේ  අංජන තම අත් අකුරින්ම ලියූ ලිපියයි. 

“මම දැන් බෝඩිමෙන් යනවා. මඟදි බාධාවක් වුනේ නැත්නම් තව පැය භාගයක් ඇතුළත මම මහවැලි ගඟේ ඉඳීවි. මට සමාවෙන්න.. දැන් වෙලාව රෑ 8 යි.”

එහි තිබුණේ තමා සියදිවි නසා ගැනීමට යන පණිවුඩයයි.

එමෙන්ම අතරමඟදී මිතුරකු මුණ ගැසුණොත් ඒ ගමන වෙනස්විය හැකි බවයි.

අංජන බොහෝ ගමන් බිමන් ගියේ යතුරුපැදියෙන්.

එදා ඒ යතුරුපැදියත් බෝඩින් කාමරය අසලම නවතා තිබුණේ පයින්ම මහවැලි ගඟ කරා යෑමට ඔහුට ඇති ඕනෑකම නිසා විය යුතුයි.

“එහෙම යන්න කලින් අංජන යාළුවෝ  කිපදෙනෙක් එක්ක කෑම කන්නත් බයිසිකලෙන්ම ගිහින් තියෙනවා. ඒකත් අපිට ආරංචි වුණා.” එසේ කීවේ  අංජනගේ ළඟම මිතුරෙක්.

“එයා කතාවට හරිම දක්ෂයි. සින්දු කියන්න, නටන්න වගේම නාට්‍ය රඟපාන්නත් දක්ෂයි.  ඒ වගේම එයා අපිට හරිම හිතවත්. ඕනෑම යාළුවෙක් වෙනුවෙන් ඕනෑම උදව්වක් කරන්න තරම් මානුෂික හිතක් ඔහුට තිබුණා. ඇත්තටම ඔහුගේ මේ වියෝව අපිට දරාගන්න බැහැ. අංජන මල්ලි මෙහෙම කර ගත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා.” මෙසේ කියමින් කඳුළු සැලුවේ අංජනට වඩා ඉහළ වසරක ඉගෙන ගන්නා සරසවි සිසුවියක්.

ඇය පවසන ආකාරයට අංජන කවදාවත් ප්‍රේම සබඳතාවක පැටලී තිබුණේ නැත. එමෙන්ම ඒ පිළිබඳව පසුතැවිල්ලක් හෝ ගැටලුවක් තිබුණු බව පෙනුනේද නැත.

“එයා අම්මට තාත්තට හරිම ආදරෙයි. අම්මලත් එහෙමයි. කවදාවත් ගෙදරට හොරා කිසිම දෙයක් එයා කරලා නැහැ කියලා ඒ අම්මලා අඬ අඬා අපිට කිව්වා.”

අංජන කුලතුංග අති දක්ෂ යූටියුබ් සන්නිවේදනයක්.

ඔහු පවත්වාගෙන ගියේ Psychologh with A.K නමැති නාළිකාවයි.

වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මේ යූ ටියුබ් නාළිකාවෙන් ඔහු කතා කළේ තමා දන්නා මනෝ වෛද්‍ය විෂය ගැනයි.

එසේත් නැත්නම් මානසික ආතතිය ඇතිකරන ගැටලුවලට විසඳුම් සොයා ගන්නා ආකාරය ගැනයි.

ඔහු මේ කරුණු කාරණා ගැන කතා කළේ එම විෂයේ ප්‍රවීණයකු ලෙසයි.

අංජන කුලතුංග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ලැබුවේ 4 වැනි වසරේ සිසුවකු ලෙසයි. 

මේ කාලය තුළදී ඔහු එම ශාස්ත්‍ර පීඨ සංගම්වල නායකත්වය පවා දරා තිබෙනවා.

ඔහුට ඒ සඳහා පුදුමාකාර කළමනාකාර දැනුමක් ලැබී තිබෙනවා.

“අංජන අපේ පීඨයේ ජනප්‍රිය චරිතයක්. ළමයි අතරත් එහෙමයි. ඇත්තටම ඒ හිටපු විධියට අපි කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් කර ගනීවි කියලා. අනික අංජන අපි කා එක්කවත් මේ වගේ මානසික තත්ත්වයකට පත්වෙලා ඉන්නවා කියලා දැනෙන්නවත් ඉඩ තිබ්බේ නැහැ. ඒත් පසුගිය කාලයේ අංජන අපිට කියලා තිබුණා එයා ඉන්නේ ලොකු ආතතියකින් කියලා. වැඩ හුඟාක් වැඩියි කියලා තමයි කිව්වේ.” මෙසේ කීවේ අංජන සොයන්නට වෙහෙසුණු ඔහුගේ මිතුරු කැල නියෝජනය කරන යෙහෙළියක්.

හිත මිතුරු මිතුරියන්ට පැවැසූ ලෙසම අංජන තම මවුපියන් අමතා විටෙක පවසා තිබුණෙත් ඔහු අධික ලෙස වෙහෙස වී ඉන්නා බවයි.

“කැම්පස් එකේ හුඟාක්  වැඩ අම්මා. මට හරිම මහන්සිය.” අංජන  අවසන් වරට අම්මා සමඟ කීවෙත් එහෙමයි.

මීට අමතරව ඔහු තම යහළු යෙහෙළියන් සමඟ තවත් එක් දෙයක් පවසා තිබෙනවා.

ඒ තමා මුහුණදී තිබෙන මානසික ආතතියෙන් මිදීමට ඖෂධ ලබා ගන්නා බවයි.

ඔහු කිහිප අවස්ථාවකදීම ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබුණේ ආතතිය නිසාමයි.

කෙසේ හෝ විශ්වවිද්‍යාලයේ හිත මිතුරන් සමඟ කණ්ඩායමක් ලෙස නාට්‍ය රඟපා, ගී ගැයූ, නර්තනයේ යෙදුණු එමෙන්ම සමාජ සේවා කටයුතුවල නිරත වූ අංජන කුලතුංග අවසන් ගමන් ගියේ කාටත් හොර රහසින්.

එමෙන්ම එසේ යෑමට තරම් හේතු සාධක වූ කාරණාවද එළිපිට හරි හැටි ප්‍රසිද්ධ නොකරමින්.

අවසන් ලිපියේ සඳහන් ආකාරයට ඔහු පීඩා විඳ ඇත්තේ මානසික ගැටලුවකින්.

ඒ ගැටලුවට ඔහු හොඳින් දන්නා විෂය තුළ පවා පිළිතුරු තිබී නැත්තේ දෛවයේ සරදමක් ලෙසින්.

“මට හිතාගන්න බැහැ මගේ පුතා මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා. එයාට එහෙම වෙන්න තරම් හේතුවක් තිබුණේ නැහැ.” අංජනගේ පියා එසේ පවසන්නේ හැඬූ­ කඳුළින්.

කුඩා කාලයේ සිටම අංජන හැදී වැඩුණේ  ප්‍රිය මනාප එමෙන්ම යහපත් ගති පැවතුම් ඇති දරුවකු ලෙසයි.

ඔහු කිසිවකුට වදනකින් හෝ හිංසාවක් නොකළ අපූරු චරිතයක්.

“අපි අපේ යාළුවා වෙනුවෙන් පුදුමාකාර විදිහේ වේදනාවක් විඳිනවා. ඇයි එයා මෙහෙම දුකක් අපිට දුන්නේ?  දැන් අපිට ඉතිරි වී තිබෙන ගැටලුව ඒකම විතරයි.” අංජන කුලතුංගගේ මිතුරු මිතුරියන් ප්‍රශ්න කරන්නේත් තැවෙන්නේත් ඒ ගැන සිතමින්.