hit counter

2025 අගෝස්‍තු මස 14 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:11



ලාංකේය ටෙලි තිරයේ අහිංසකාවිය, දිලිනි ලක්මාලි..

දිලිනි ලක්මාලි රසික පිරිසට වඩාත් සමීප ඇගේ රූපය නිසා කිව්වොත් හරි. එයිනුත් ඇය සතු සුන්දර කේෂ කල්‍යාණය නිසාවෙන්.

එහෙම ස්වභාවිකවම සුන්දර රූපයක් කෙනෙකුට පිහිටන්නෙ කලාතුරකින්.

දිලිනි ඊට වාසනාවන්තයි කිව්වොත් හරියටම හරි.

ඇය ගැන මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නෙ, ”ඉර හැංගිලා” ටෙලි නිර්මාණයත් එක්ක.

විවාහයෙන් පස්සෙ ලංකාවෙන් ගිය ඇය, යළි ලංකාවට එන්නෙ එහි රූගත කිරීම් වෙනුවෙන්…

”මම දැන් අවුරුද්දක් පමණ වෙනවා ලංකාවෙන් ගිහින්. ඇත්තටම මම ගියේ මේ වගේ ඉතා ඉක්මනින් එන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි. නමුත් ඉර හැංගිලා විකාශය වීමත් සමඟ මේ නිර්මාණයේ ඉතුරු කොටස්වල රූගත කිරීම් සඳහා මට එන්න සිදු වුණා. මොකද අපි මෙහි සීමිත කොටස් ගණනක් පමණයි රූගතකරලා තිබුණේ. ඒත් එක්කම නාට්‍ය විකාශය වීම ආරම්භ වීමත් එක්ක තමයි මම හැකි තරම් ඉක්මනින් ඉතිරි රූගතකිරීම් සඳහා ලංකාවට ආවේ. ඇත්තටම මම ආවට මගේ හිත තියෙන්නේ, මේ ඉර හැංගිලා වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දීලා ඉතාමත් හොඳින් ඒ කටයුතුවලට අවශ්‍ය සහාය දීලා නැවතත් නිව්සීලන්ඩ් යන්න. නමුත් දිලීමා වෙනුවෙන් මම මගේ උපරිමය ලබා දෙනවා…”

ලංකාවට ආවට දිලිනිගෙ හිත තියෙන්නේ නිව්සීලන්ඩ්වල…

”අපි විවාහ වෙද්දිම මම දැනගෙන හිටියා දවසක මේ තීරණය ගන්න සිදු වෙනවා කියන දේ. ඇත්තටම මගේ සැමියා ඉතාමත් හොඳ, ආදරණීය, මට අවශ්‍ය සියලු සහාය ලබා දෙන කෙනෙක්. එතැනදි මම අපි වෙනුවෙන් තමයි මේ තීරණය ගත්තේ. මට මේ මොහොතෙදි අවශ්‍ය දිලීමා වෙනුවෙන් ලැබෙන මේ ආදරය ඒ විධියටම ආරක්ෂා කරගෙන ඇයට පණපොවන එක. ඉතිං ඒ වැඩ කටයුතු අවසන් කරලා හැකි ඉක්මනින් නැවතත් ඔහු ළඟට යන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ.”

කාලයක් තිස්සෙ පුංචි තිරයෙන් කතාබහට ලක්වෙන දිලිනි දැන් ඩිජිටල් අවකාශයේත් හරිම සක්‍රීය චරිතයක් කිව්වොත් හරි…

”අපි නොහිතපු විධියට අපේ යූටියුබ් නාළිකාවට විශාල ආදරයක් හිමිවෙලා තියෙනවා. ඇත්තටම මේ මොහොත වෙද්දි සබ්ක්‍රයිබර්ස්ලා ලක්ෂය ඉක්මවන්න හැකිවෙලා තියෙනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තමයි අපිට මේ විධියට ලක්ෂය ඉක්මවන්න හැකි වුණේ. ඇත්තටම එහි ගෞරවය වැඩි වශයෙන් යන්න ඕනි මගේ සැමියට. ඔහු තමයි වීඩියෝ එඩිට් කරන වැඩ කටයුතු කරමින් ඒ වෙනුවෙන් වැඩි වෙහෙසක් දරන්නේ.”

කාලයක් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබමින් ජනප්‍රියත්වයේ පසුවුණු අයෙක්ට, ඒ පරිසරයෙන් මිදෙන එක තරමක් වෙනස් අත්දැකීමක්…

”මම ලංකාවෙදි වුණත් බොහොම සරල ජීවිතයක් ගත කළේ. ඒ නිසා මට නවසීලන්තයේ ගෙවන නිදහස්-නිස්කලංක ජීවිතයට හුරු වීම පහසු වුණා. විශේෂයෙන් මම ජීවත්වෙන්නේ බොහොම සුන්දර පරිසරයක. ඒ පරිසරයේ තියෙන සුන්දර බව නිසාම මට ඒ ජීවිතය විඳින්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම තමයි මගේ සැමියා එක්ක ගෙවන ඒ ජීවිතයට මම බොහොම කැමැතියි. අපේ යූටියුබ් නාළිකාවට වුණත් ගොඩක් ප්‍රතිචාර ලැබෙන්නේ ඒ සුන්දර පරිසරය සහ එහි ගෙවන අපේ ජීවිතවල සරල බව නිසා. ඒ වගේම අපේ යූ ටියුබ් නාළිකාවට ලැබෙන ප්‍රතිචාර නිසා සමහර වෙලාවට ලංකාවෙන් පිට ඉන්න බව දැනෙන්නේ නැහැ.”

උපුටාගැනීම් : හදගැස්ම





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: