hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 22, පෙ.ව. 12:02



සංවිධානාත්මක අපරාධ හරහා සැක සහිත ලෙස ඉපයූ වත්කම් සහ ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක දේපළ හිමි බවට චෝදනා ලැබ සිටිනා පියුමි හංසමාලී නම් නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා ලබා දී ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් කළ ඉල්ලීමක් අනුව බව වාර්තා වෙනවා.

සංජය මහවත්ත ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

මේ අනුව පියුමි හංසමාලි සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ඇය විසින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වාර්තා කැඳවා ඇති බවත් එම රථය සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල සහ එම මුදල් ගෙවීම් සිදු කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනවරණය කර ගැනීමට එම ජීප් රථයේ පෙර හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් නීති විරෝධී විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා.

මෙම රථය 2019 වසරේ දී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත් රැගෙන පැමිණීමෙන් පසු එම රථය විකිණීමට නොහැකි බැවින් වාහන අංගනයේ නවතා තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිතා කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම රේන්ජ් රෝවර් රථය එම වසරේදී ඔහුගේ පරිහරණයට ලබා දී තිබුණා.

කෙසේවෙතත් 2021 වසරේදී එය නැවත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇති බවද රථයේ පෙර හිමිකරුගේ ප්‍රකාශයේ සඳහන් ව තිබෙනවා.

එලෙස වාහන අංගනයේ තිබු එම රථය සම්බන්ධයෙන් වෙබ් අඩවි මඟින් දැන්වීම් පළ කිරීමෙන් පසු පියුමි හංසමාලි සහ තවත් පුද්ගලයෙක් පැමිණ රථය පරික්ෂා කර රුපියල් ලක්ෂ 05ක අත්තිකාරම් මුදලක් සහ ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමක් වෙත වරින් වර තැන්පත් කර ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් ආයතනයකින් කල් බදු පහසුකමක් ලබා ගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට එම ජීප් රථය මිලදී ගත් බව සඳහන් කරමින් රථයේ පෙර හිමිකරු ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරීයාගෙන් ප්‍රකාශයක් ද එම කොට්ටාශය විසින් ලබා ගෙන ඇති අතර එය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: