hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2026 ජනවාරි 20, පෙ.ව. 12:14



මේ වසරෙ සිනමා රැල්ලට, ජයග්‍රාහී ආරම්භයක් අරන් දුන්නු සිනමාපටය ‘Father’ බවට විවාදයක් නෑ.

ඊට සාක්ෂි ඕනෑ තරම්.

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ‘Father’, රජ ගමනක නියැලෙනවා.

එහි ප්‍රධාන චරිතයට පණදෙන්නෙ ‘පූජන දන්දෙනිය’

පූජන, ‘ඩෙස්මන්’ මැයෙන් ජීවය එක්කාසු කරන්නෙ ප්‍රකට ‘ඔස්මන්’ චරිතයට.

ඉතින්, ඩෙස්මන්ට මුලින්ම ඔස්මන්ව මුණගැහිලා තිබුණෙ චිත්‍රපටයෙ මුහුරත් උළෙල දවසෙ.

”ෆාදර් චිත්‍රපටයේ මුහුරත් උළෙල දවසේ ඔහු ඒ සඳහා සහභාගි වුණා. මට එදා තමයි ඔහුව මුලින්ම මුණගැසුණේ. එතැන දී මම ඔහුත් එක්ක විනාඩියක් දෙකක් කතා බහ කළා. එතැන දී ඔහු මට කිව්වේ “එන්න අපේ ගෙදර, එතකොට ඔයාට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වේවි” කියලා.

නමුත් ඒ මොහොතේ අධ්‍යක්‍ෂවරයාගේ තීරණයක් තිබ්බා ඒ චරිතය ම නෙමෙයි ඕනෑ කියලා. ඒ කියන්නේ චරිත ලක්‍ෂණ නෙමෙයි චරිතයේ අභ්‍යන්තරය ඕනෑ කියලා. ඇත්තටම චමින්ද අයියා කිව්වා “උඹ බය නැතිව වරෙන්. මම උඹෙන් වැඩේ ගන්නවා. උඹේ ඇඟ ඇතුළේ වැඩේ තියෙනවා කියලා”

අධ්‍යක්‍ෂ චමින්ද අයියා කිව්ව දේ දැන් තමයි මට තේරෙන්නේ. ඔහු පිටපත නිර්මාණය කරලානේ තිබුණේ. අධ්‍යක්‍ෂවරයාගේ චිත්‍රණයෙන් මට ඇජෙක්ට් වෙන්න ඕනෑ. ඒක තමයි මම එළියට දෙන්න ඕනෑ. ඔස්මන් අංකල් කියන එක මම පෞද්ගලිකව ගන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.

අවුරුදු හැට ගණනාවක් ජීවත් වෙච්ච මනුස්සයාව දැකලා ඉන්ස්පයර් වෙලා තියෙන්නේ චමින්ද අයියා එතකොට මම ආපහු ඉන්ස්පයර් වෙන්න ඕනෑ නෑ. මම වගකියන්න ඕනෑ චමින්ද අයියට ආපහු රූගත කිරීම් අතරතුර අවසන් වරට හම්බවුණා. වචනයක් දෙකක් කතා කළා.”

”එයා හරිම ඩීසන්ට්. එයා හරිම වැඩිහිටියෙක්. ඔස්මන් අංකල්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි. ඔයාගේ චරිතයේ තරුණ කාලේ හරි මොකක් හරි දැනෙන්න මම කළා ද කියන එකයි. චිත්‍රපටයෙන් පස්සේ මම හරි ආසයි ඔහුව මුණගැසෙන්න. ඔහුගෙන් දැනගන්න ඕනෑ ෆාදර් ඔහුට දැනුනේ කොහාමද කියලා. මම හිතන්නේ එයා චිත්‍රපටය නැරඹුවා. චමින්ද අයියත් කිව්වේ ඒක එයාට සෑහෙන දැනුණා කියලා. මේක ඇත්තට සිද්ධ වෙච්ච මනුස්සයා ඒ ගැනම තේරුම් ගත්තා කියන්නේ ඇතිනේ.

අපි දැක්කානේ පසුගිය කාලයේ කරපු ගොඩක් චරිතාප්‍රදාන සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් ඇති වුණානේ. ඒකට අයිති මිනිස්සුන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගන්න පෙළඹුණා. ඔස්මන් අංකල් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තොත් අමාරුත් එක්කනේ. ඔහු හරිම සුන්දරයි.

මට පුරුද්දක් තියෙනවා ඉස්සර බස්වල යද්දී මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. හරි අමුතු මිනිස්සු ඉන්නවා. බස් ඇතුළේ පට්ට ආතල්. බස් ජීවිතයට මම මාරම කැමැති කාලයක්. පිස්සු හැදෙන චරිත හම්බ වෙනවා. විශේෂයෙන් බස් ඩ්‍රයිවර්ලා ෆුල් ආතල්. මම අදටත් පාරේ යන්නේ එක්කෝ ත්‍රීවිලර් එකක. කිලෝ මීටර් එකහමාරක් දෙකක් තමා පයින් ඇවිදින්නේ. ඒක ඇතුළේ මට හම්බ වෙනවා විවිධාකාර ඇවිදීම් රටා. විවිධාකාර හැසිරීම්. විවිධාකාර දේවල් හම්බවෙනවා මම හිතන්නේ ඒක තමයි රීඩ් එක.”

පූජන කියන විදියට, ඔහු සහ ඔස්මන් අතර යම් සමානකමක් නැතුවාම නෙවෙයි…

”සම්පූර්ණයෙන්ම අපි දෙන්නාගේ පෙනුමත් වෙනස්. ටෝට්ල් වෙනස්. මට චමින්ද අයියත් කිව්වේ එහෙනම් බං මම ඒ වගේම මනුස්සයෙක් ගන්න එපායැ කියලා. මට ඕනෑ ඒ චරිතය එතැන තියන්න නෙමෙයි එයාට ඕනෑ වුණේ ඒක ඇතුළේ තියෙන මොකක් හරි සාරය මගේ ඇඟ ඇතුළෙන් එළියට දෙන්නයි. චමින්ද අයියත් එක්ක කතා කරද්දි ඒක මම තේරුම් ගත්තා.

මම ඔහුව යූ ටියුබ්වල තිබුණ නිවුස් ගොඩක්වලින් පවා අධ්‍යයනය කළා. එතකොට මම දැන ගත්තා එයාගෙයි මගෙයි එක සමාන කමක් තියෙනවා කියලා. ඔහුගේ තරුණ කාලේ හැසිරීම ගොඩක් මට සමානයි. තරුණකමත් එක්ක එන ආවේගශීලී කියන එක. හැබැයි ඔහු වැඩිහිටියෙක් වෙන්න වෙන්න තමයි ඔහුගේ පරිණතකම එන්නේ.

එයා හැමතිස්සෙම අතදාලා තියෙන්නේ මම දැකපු විදිහට එයාට ඇඟට ආපු ප්‍රශ්නවලට මිසක් එයා බලෙන් ගිහිල්ලා දාගත්ත ප්‍රශ්නවලට නෙමෙයි. නෝබෝල්වලට එයා ගහන්න යන්නේ නැහැ. මගෙත් ඒ පුරුද්ද තියෙනවා. ඇඟට ම එන්න ඕනෑ ප්‍රශ්නයක් දාගන්න. මම කියන්නේ අපි හැමෝටම එහෙමනේ. අහකයන ප්‍රශ්න දාගන්න කවුරුත් කැමැති නැහැනේ. හැබැයි එයාගෙයි මගෙයි තියෙන ලොකුම වෙනස තමයි එක තැනකින් එහාට යන්න තරම් මම නිර්භීත නැහැ. එයා නිර්භීතයි.”

පූජන මැදවච්චියෙන් කොළඹට ආව තරුණයෙක්. එහෙම ආව ඔහු අද සෑහෙන රසික ආදරයක් ලබන දක්ෂ රංගන ශිල්පියෙක්..

”කොළඹට එන්නේ මැදවච්චියේ ඉඳලා.

ලංකාවේ ඕනෑම පළාතකට යන්න පැය විසිහතරේම බස් එකක් අපේ ගේ ඉස්සරහින් යනවා. ඒක මාර පොයින්ට් එකක්. මම ඉන්නේ ඒ නයින් පාර ඉස්සරහම. සාමාන්‍යයෙන් මට කොළඹ යන්න ඕනෑ වුණහම බස් එක කීයට ද වගේ බලන්න දෙයක් නැහැ. පාරට බැස්සහම බස් තියෙනවා පෝලිමට. ඊට අමතරව ලස්සන නගරයක්. ටවුන් එකේ සියයට පනහක් විතර ඉන්නේ ඥාති. ඉතින් ඒ කාලේ දං, වීර, පලු ගස් උඩ ගත කළා. ඇත්තට ම මම මුලින් කිව්වා වගේ ගම වින්දා. අවුරුදු විස්සක් විතර වෙනකම් මම මැදවච්චියේ. මම කොළඹට එන්නේ අවුරුදු විසිතුනෙන්.”

උපුටාගැනීම : මීවිත | දිනේෂ් විතාන





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: