hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:14



ඇය ලබාගත් ජයග්‍රහණය ගැන අද බොහෝ දෙනා කතා කරනවා..

ඒ ඇය නිදහස් අධ්‍යාපනය අරුත්බර කරන්න සමත් වුණු දියණියක් නිසා..

සාරංගි අතාවුද, හැමෝම කතා කරන ඒ තරුණිය කවුද..?

පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ උපාධිධාරිණියක් වුණු සාරංගි ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ ඇය විශය සේම විශය බාහිර ක්‍රියාකාරකම්ද සමබරව කරගෙන ගිය නිසා කිව්වොත් හරි..

කවුරුත් හොයන, කාටත් ආදර්ශයක් වුණු මේ දිරිය දියණියත් සමග අරුත්බර කතාබහකට මුල පුරන්න අපිට හැකිවුණා.. අනාගතය දීප්තිමත් කරගන්නට මග බලා සිටින සිසු ප්‍රජාවට ඇත්තෙන්ම ඇගේ කතාව ආදර්ශයක් සපයාවි..

ඔබ ලබපු ජයග්‍රහණයත් එක්ක බොහෝ දෙනා ඔබ ගැන කතා කරනවා… ඒ හැමෝටම සාරංගි ගැන දැනගන්න මුලින්ම ඔබ කවුද කියලා හඳුන්වාදෙමු..

මම සාරංගි අතාවුද.. මම මුලින්ම අධ්‍යාපනය ලබන්නේ මේ රටේදි නෙවෙයි… ඊට පස්සෙ මම ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට එනවා.. අවුරුද්දක් වගේ එහි අධ්‍යාපනය ලබලා, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා.. ඒ පාසලේදී තමයි මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්නේ.. එතනින් පස්සේ මම සුදුසුකම් ලබනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අධ්‍යාපනය හදාරන්න. ඉතින් ඔය ටික තමා මං ගැන මූලිකව කියන්න තියෙන්නේ..

දැන් ඔබ රැකියාවක නිරතවෙනවා.. ඒ මොන ක්ෂේත්‍රයේද? ඒ ගැනන් අපි මතක් කරමු….

ඔව්, මම දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සහාය කථිකාචාර්‍යවරියක් විදිහට සේවය කරනවා.. ඒක තමයි ඉතින් මගේ වෘත්තීමය ජීවිතය..

සාරංගි ගැන හැමෝම කතාවෙන්නේ, එදා පැවති උපාධි උත්සවයෙන් පස්සේ.. ඒ දවස ඔබට ඉතාමත් සුවිශේෂයි.. ඔබේ දක්ෂතා ගැන හැමෝම කතා කළා.. මොකද හිතෙන්නේ ඒ දවස ගැන දැන් මතක් වෙනකොට..?

අවුරුදු ගාණක් කෙනෙක්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලැබුවා කියලා හිතනවා… මේ ජයග්‍රහණය මගේ විතරක් නෙවෙයි, මගේ පවුලේ හැමෝටමත්, මහේ යාලුවෝ හැමෝටමත් සතුටක් ගේන්න ඇති කියලා මම හිතනවා.. මොකද අපි යම් දෙයක් ජයග්‍රහණය කරනකොට අපි විතරක් නෙවෙයි, ඒ ජයග්‍රහණය ලබා ගන්නේ, අනිත් අයත් ඒකෙන් සතුටක් ලබනවා කියන එක හොඳටම දැනුන දවසක් තාමයි ඒ දවස..

ඔව් සාරංගි ඔබට රන් පදක්කම් 08ක් මෙහිදී ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා නේද?

මට ගෝල්ඩ් මෙඩ්ල් 8 ක් ලැබෙනවා.. ඒ අටෙන්, හතක්ම මට ලැබෙන්නේ මගේ faculty එකෙන්.. ඒ academic achievementsවලට.. මගේ GPA එක 3.97/4න්.. ඒක Record එකක්.. මං මගේ Badge එකේ Badge top.. ඒ වගේම මට මගේ විශ්ව විද්‍යාලයෙන් විශේෂ රන් පදක්කමක් ලැබෙනවා.. ඒක මට ලැබෙන්නේ මට අධ්‍යාපන කටයුතු වගේම අනෙකුත් බාහිර වැඩකටයුතු සමබරව කරගෙන ගිය නිසා.. ඒක හරිම තරගකාරී, මොකද එක faculty එකකින් ඒ පදක්කම ලැබෙන්නේ එක්කෙනෙක්ට විතරයි..

බාහිර ක්‍රියාකාරකම් ගැන කතා කළ නිසාම අපි ඒ ගැනත් කතා කරමු.. ඔබ ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්.. කොහොමද අධ්‍යාපනය වගේම විශය බාහිර ක්‍රියාකාරකම් සමබරව කරගෙන ගියේ..

මගේ පළවෙනි අවුරුද්දේ කෘෂිකර්ම පීඨයට අපි තේරුණාම අපිට ඉන්න වෙන්නේ අනුරාධපුරයේ.. මොකද අපි ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඕන.. ඊට පස්සේ තමයි අපි විශ්ව විද්‍යාලේ වැඩට එන්නේ.. මම විශ්ව විද්‍යාල කාලේ කරන්නේ Basketball ක්‍රීඩාව.. ඒත් මං පාසල් කාලේ කළේ Athletics…

මෙහේ ඇවිල්ලා Basketball කරන්න ගත්තේ අලුත්ම දෙයක් විදිහට.. ඒත් මට University Colors තියනවා Basketballවලට.. ඒත් එක්කම මම තමවත් අපේ University එකේ තිබ්බ විවිධ Societyවල Director Board එකේ පවා හිටියා.. ඒත් එක්කම අපේ Faculty එක ඇතුලේ Society තියනවා.. ඒවගෙත් මම වැඩ කරනවා.. ඉතින් ඒ ඔක්කොමත් එක්ක වැඩ කරනකොට සතියේ දවස් 5න් 3ක්ම මට මගේ ක්‍රීඩා වෙනුවෙන් මට දෙන්න වෙනවා.. ඒ දේශනවල කාලයෙන් පස්සේ.. සමහර දවසට රෑ 10 වෙනකල් මට ඉන්න වෙනවා මේ වැඩකටයුතුවලට..

ඊට පස්සේ මගේ Academic වැඩවලට මම යොදාගත්තේ සති අන්තය.. එතකොට මට සතුටු වෙන්න විනෝද වෙන්න කාලයක් තිබ්බේ නැති තරම්, ට්‍රිප් යන්න වෙඩින් එකකට යන්න වෙලාවක් නැති තරම්.. කොහොම හ‍රි ඒ කැපවීම , උනන්දුවත් එක්ක තමයි මට මේ තරම් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වුණේ.. කාල කළමණාකරණයත් එක්ක කැපවීම , උනන්දුව තමයි මේ හැම දෙයකටම මුල් වුණේ.. ඒ වගේම මට මගේ පවුලෙන්, විශ්ව විද්‍යාලයෙන්, යාළුවන්ගෙන්, මගේ සහකරුවාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මේ ගමනට..

ඔබ ලබාගත්තේ මේ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් ඔබ එක්කම හිටපු පිරිසක් ඇති.. ඒ අයට ස්තූති කරන්න මේක වෙලාවක් කරගන්න පුළුවන් ඔබට..

හැම දේකටම මගේ පිටිපස්සෙන් හිටියේ මගේ අම්මා තාත්තා.. ඒත් එක්කම මගේ නංගි මල්ලී.. ඒ දෙන්නාව මතක් කරන්න ඕන.. මට ඕන ප්‍රශ්නයක් ඒ දෙන්නා එක්ක කතා කරන්න පුළුවන්.. ඊට පස්සේ මගේ හොඳම යාළුවෝ.. මගේ Partner.. එයත් ගොඩක් උදව් කළා මට..

ඒත් එක්ක මගේ පාසල, මේ හැම දෙයක්ම මගේ පාසල මට දුන්න පන්නරය නිසා.. ඊට පස්සේ මගේ විශ්ව විද්‍යාලය.. විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන හැම කෙනෙක්වම මම මතක්කරනවා.. ඒ වගේම මේ ගමනේදී වචනයකින් හරි මට උදව් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි.. ඒ වගේමයි නිදහස් අධ්‍යපනය අපට දිනා දුන්න හැම කෙනෙක්ටම මේ ජයග්‍රහණය අයිතියි කියලයි මම හිතන්නේ..

අවසන වශයෙන්.. ඔබේ අධ්‍යාපනය මෙතනින් අවසන් වෙන එකක් නැහැ.. මොකක්ද ඔබේ අවසාන ඉලක්කය..

මම කැමතියි මගේ රට වෙනුවෙන්ම යමක් කරන්න.. මම කැමතියි මගේ රටේම කථිකාචාරවරියක් වෙන්න.. මට උසස් අධ්‍යාපන වැඩකටයුතු වෙනුවෙන් මට විදෙස් ගත වෙන්න වෙයි.. ඒත් මට අන්තිමට ඉන්න ඕන මගේ රටේ.. මට ඕන මම ලබාගත්ත දැනුම අනිත් ළමයිට දෙන්න.. මගේ රටට සේවාවක් කරන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: