hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 15, ප.ව. 6:39



දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ  මව, පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 7ක කුඩා පිරිමි දරුවෙකු අද (15) කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලීසිය පවසයි.

කිඹුලා විසින් ඩැහැගෙන ගිය පිරිමි දරුවා සොයා පොලිසිය ජීවිතාරක්ෂක නිලධාරීන් මෙන්ම ගමේ පිරිස් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කුඹුක්කඳන්වල ප්‍රදේශයේ පදිංචි දඹුල්ල කණ්ඩලම ඩී.එස්.සේනානායක විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චනුත් සත්සර නැමැති කුඩා දරුවෙක්.

සිද්ධිය ඇසින් දුටු දරුවාගේ පියා සඳහන් කළේ මෙම වැවේ කිඹුලන් සිටින නිසා බොහෝ දෙනෙකු දිය නෑම සිදු නොකරන බවයි.

කෙසේවෙතත් දින ගණනාවක සිට තම පුතා මෙම වැවෙන් දිය නෑමට අවැසි බව සඳහන් කිරීම සමග දරුවාගේ ආසාව ඉටු කිරීමට පළමු වතාවට මෙම වැවට දිය නෑම සඳහා පවුලේ සියලු දෙනා පැමිණි බවද ඔහු සදහන් කළා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස