hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:56



රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ සැලසුමක් මේ වනවිට හෙළි වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන ගොස් නිත්‍යානුකූල නොවන මාර්ගයෙන් බෝට්ටු මඟින් ඉන්දියාවට පලායෑමට සැඟව සිටින කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සැලසුම් කර තිබූ බව සඳහන්.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ, සැඟව සිටින පොලිස් කොස්තාපල්වරයාට මෙම මෙහෙයුම සදහා ‘හරක් කටා’යන අය රුපියල් කෝටියකට අධික මුදලක් ලබා දී තිබූ බවයි.

එම මුදලින් රුපියල් ලක්ෂ 20ක මුදලක් කොස්තාපල්වරයා ඔහුගේ මස්සිනාට ලබා දුන් බවට කරුණු අනාවරණය වී ඇති බව ද එම උසස් නිලධාරියා කියා සිටියා.

මාස ගණනාවක සිට මෙම මෙහෙයුම සඳහා නොයෙක් ආකාරයෙන් උපායන් යොදමින් සිට ඇති බව සඳහන්.

මෙම කොස්තාපල්වරයා සහ ඔහුගේ මස්සිනා සී අයි ඩී භාරයෙන් ‘හරක් කටා’ යන පන්නාගෙන ගොස් තිදෙනාම බෝට්ටු මගින් ඉන්දියාවට පලා යෑම ඔවුන්ගේ සැලැසුම වී තිබෙනවා.

ඉන් අනතුරුව එහි සිටිමින් වෙනත් රටකට යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් තිබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.

මේ අතර, හරක්කටාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විස මුසු කිරි ටොෆි සහ කිරි තේ පානය කිරීමට දීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙය ආරම්භ කළ බවයි, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේ.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල් 97402 මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර යන අය මේ වන විට අතුරුදන්ව සිටිනවා.

ඔහුගේ ජංගම දුරකතනයට අදාළව කළ විමර්ශනයට අනුව ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු සහ එම පොලිස් කොස්තාපල්වරයා හරක් කටා’ යන අය පොලිස් භාරයෙන් පන්නාගෙන යෑමට කලක සිට සැලසුම් කර ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම සැකකරු අපරාධය සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් සිටි බවත් ඔහු සියල්ල පිළිබදව කරුණු වසන් කළ බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් ආරක්ෂක අමාත්‍යවරයගෙන් ලබා ගත් රැදවුම් නියෝග මත මෙම සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.

ඒ අනුව දින 90ක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අවසර ලබා දී ඇත්තේ.