hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 19, පෙ.ව. 5:56



රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අද වනවිට වසරකට අධික කාලයක් ගතවී ඇති අතර තවමත් එහි නිමාවක් දක්නට නැහැ.

මෙම යුද්ධයෙන් දෙරටේම මියගිය සෙබළු ගණන නිශ්චිතව ගණන් බලා නැතත් නිල නොවන වාර්තාවලට අනුව එය ලක්ෂ 2 ඉක්මවන බව සඳහන්.

යුද්ධයේ වින්දිතයින් ගණන මිලියන 18 ඉක්මවා යද්දී ඒ අතරින් මිලියන 2 කට ආසන්න පිරිසක් දරුවන් බව සඳහන්.

නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ මෙවන් පසුබිමකයි.

ඒ, නීතිවිරෝධී අයුරින් යුක්‍රේනයේ දරුවන් දහස් ගණනක් රුසියාවට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම ඇතුළු යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින්.

මෙලෙස යුක්‍රේනයෙන් රුසියාවට පිටුවහල් කර ඇති ළමුන් ගණන 16,000 කට අධික විය හැකි බව වාර්තාවල සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ රුසියානු කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බවයි.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරන රටක සංචාරය කරන අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

මේ වනවිට ලොව රටවල් 123 ක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරන නමුත් රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් 41ක් එහි සාමාජිකත්වය දරන්නේ නැහැ.

ඒ අනුව මෙම වරෙන්තුව ක්‍රියාවට නැංවිය නොහැකි බව විදෙස් දේශපාලන විචාරකයින්ගේ මතයයි.

රුසියාවේ ජනාධිපතිවරයාට එරෙහි වරෙන්තුව පිළිබඳව අදහස් දක්වන යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝගය හඳුන්වා දී ඇත්තේ, ඓතිහාසික වගවීමකට තුඩු දෙන ඓතිහාසික තීරණයක් ලෙසයි.

එමෙන්ම රුසියානු ජනපතිවරයාට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා සාධාරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද පවසා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති බයිඩන් පවසන්නේ රුසියානු ජනාධිපති පුටින් නිසැකවම යුද අපරාධ සිදු කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චින ජනාධිපති ෂී ජින්පින් සමග විශේෂ හමුවකදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට නියමිතව සිටින රුසියානු ජනාධිපතිවරයාට මෙම වරෙන්තුව බරපතළ නීතිමය ගැටලුවක් වනු ඇති බවයි.

කෙසේවෙතත් වරෙන්තුව පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම වරෙන්තුවේ කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවයි.

එනමුත් යුක්‍රේනය දෙවරක් එනම් 2014 සහ 2015 යන වසරවල දී ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිගෙන ඇති බැවින්, අධිකරණ බලය පිළිගත් ප්‍රාන්ත භූමියක සිදුවන යුද අපරාධ සම්බන්ධ තීරණ ගැනීමට බලයක් තමන්ට ඇති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසනවා.

සුඩානයේ ඕමාර් අල් බෂීර් සහ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ තුන්වන ජනාධිපතිවරයා වන්නේ ව්ලැද්මීර් පුටින්.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයෙකු ද වන රාජ්‍යයක රාජ්‍ය නායකයෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.