hit counter

2025 ජූලි මස 13 වන ඉරිදා

2025 ජූලි 02, පෙ.ව. 6:53



තායි අගමැතිණි පේටොංටාර්න් ශිනවත්ගේ ධුරය අත්හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඊයේ නියෝග කළා.

ඊට හේතුව වූයේ හිටපු කාම් බෝජ අගමැති හුන් සෙන් සමග ඇය පැවැත්වූ දුරකථන සංවාදයකදී ආචාරධර්මයන් කඩ කිරීමේ චෝදනාවයි. මෙම සංවාදයේ හඬපටය ප්‍රසිද්ධ වීමෙන් ශිනවත් දැඩි අර්බුදයක ගිලුණේ මීට ස්වල්ප දිනකට පෙරයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර පැවති දේශසීමා අර්බුදයක් නැවතත් හිස ඔසවා තිබෙනවා. මෑතකදී ඇතිවූ ගැටුමකින් කාම්බෝජ සෙබළෙක් ද මියගියා. මේ පිළිබඳ හිටපු අගමැති හුන් සෙන් සමග ශිනවත් කළ සංවාදයේදී ඔහු වෙත ගරුසරු සහිතව අමතන අගමැතිණිය​, තායි හමුදා නිලධාරියකුට දොස් පවරනවා. මෙම කරුණු හෙළිවීමෙන් ඇයට එරෙහිව තායිලන්තයේ දැවැන්ත උද්ඝෝෂණ හටගත්තා.

ශිනවත්ගේ ධුරය අත්හිටුවීම තායිලන්තය යළිත් දේශපාලන වියවුලකට ගෙන යනවා. ඇයට එරෙහිව විමර්ශනය අවසානයේදී ඇයව අගමැති ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එයින් පසුව ආණ්ඩුවට වැඩිකල් පැවැත්මක් වේ යැයි අනුමාන කෙරෙන්නේ ද නැහැ.