hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 07, ප.ව. 4:01



බ්‍රිතාන්‍යයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්තානයේදී අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරුණා.

ඒ ලෝක නායකයින් ඇතුලු ආරාධිත අමුත්තන් 2000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන්.

මෙම රාජාභිෂේක මංගල්‍යය නැරඹීම සඳහා ලොව පුරා මිලියන 500 ක් පමණ එක්ව සිටීමත් විශේෂත්වයක්.

1953 වසරේ පැවැති දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ දශක හතකට පසුවයි.

මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 02.50 ට රාජාභිශේක මෞළි මංගල්‍යය ආරම්භ කෙරුණේ රාජකීය යුවළ බකින්හැම් මාළිගයෙන් ගමන් ආරම්භ කිරීමත් සමඟයි.

තුන්වන චාල්ස් රජු හා කැමිලා කුමරිය ශාන්ත ජේම්ස් උද්‍යානය පිහිටි වයිට් හෝල් මාර්ගය ඔස්සේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා මහ ජන හරසර මැද රැගෙන ආවේ අළු පැහැති අශ්වයින් 6 දෙනෙකු බැඳි අශ්ව කරත්තයකින්.

සාම්ප්‍රදායට අනුව රාජාභිශේක මංගල්‍යට සහභාගී විය යුත්තේ රන් රාජකීය අශ්ව කරත්තයෙන් වුවත් තුන් වන චාර්ල්ස් රජු සහ කැමිලා කුමරිය ගමන් ගත්තේ දියමන්ති ජුබිලි රාජකීය අශ්ව කරත්තයෙන් වීම විශේෂත්වයක්.

ටොන් 3 ක් බරැති මෙම දියමන්ති ජුබිලි රාජකීය අශ්ව කරත්තය දෙවැනි එලිසබත් මහ රැජිණියගේ 60 වසරක පාලනය සනිටුහන් කිරීමට 2012 වසරේ දී එළි දැක්වූවක් ලෙස හඳුන්වනවා.

කිලෝ මීටර් තුනකට ආසන්න මාර්ගය දිගේ පැමිණි රාජකීය යුවළට මග දෙපස රුස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර හිමි වුණා.

මේ අතර හැරී කුමරු තම පියාගේ රාජාභිශේක මංගල්‍යට සහභාගී වුණත් ඔහුගේ බිරිඳ මේගන් මර්කල් ඊට එක්ව සිටියේ නැහැ.

රජාභිශේකයේ දී තුන් වන චාල්ස් රජු ඔටුනු පලදින්නේ බ්‍රිතාන්‍ය තුළ ඇති පැරණිම ගෘහ භාණ්ඩය ලෙස ප්‍රකට ශාන්ත එඩ්වඩ් ගේ ආසනය මත දීයි.

මෙම සාම්ප්‍රදායික ආසනය මතදී සිට රජුන් සහ රැජිණියන් 26 ක් මේ දක්වා කිරුළු පැලැඳ තිබෙනවා.

මෙම රාජාභරණ අතරට ලොව විශාලතම දියමන්තියෙන් කැපූ අප්‍රිකාවේ තරුව ලෙස ප්‍රකට දියමන්තිය ද ඇතුලත්.

වසර 360 ක ඉතිහාසයක් සහිත මෙම ඔටුන්න මේ දක්වා රජවරුන් 6 දෙනෙක් හට පලදවා තිබෙනවා.

තුන් වන චාල්ස් රජු බ්‍රිතාන්‍යය රාජ්‍යත්වයේ 62 වැනි හිමිකරුයි.

අනතුරුව කැමිලා කුමරිය රැජින ලෙස අභිශේක ගැන්වා ඔටුනු පලදවනු ලැබුවා.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් බ්‍රිතාන්‍යය පුරා ආචාර වෙඩි මුර පැවැත්වුණා.

චාරිත්‍රවලින් අනතුරුව බ්‍රිතාන්‍යයේ තුන් වන චාල්ස් රජු සහ කැමිලා රජ මෙහෙසිය බකිංහැම් මාළිගය වෙත ගමන් ආරම්භ කළා.

ඒ සමඟ රාජකීය හමුදාවේ ගුවන් සංදර්ශන ද නැරඹීමට මහ ජනතාව අවස්ථාව උදා වුණා.

රාජ්‍යත්වයට පත් වීමෙන් අනතුරුව රජ පවුල බකිංහැම් මාළිගයේ සඳලුතලයේ දී සාමූහිකව පෙනී සිටීමේ චාරිත්‍රය සිදු කළ අතර ඒ සදහාද හැරී කුමරු සහභාගී වී සිටියේ නැහැ.

මේ අතර රජාභිශේක මංගල්‍යය සදහා ස්ටර්ලින්ග් පවුම් මිලියන100ට අධික පිරිවැයක් දැරීම ට විරෝදය පාමින් එරට ඇතැම් ප්‍රදේශවල විරෝධතාද සංවිධාන කර තිබුණා.

එමෙන්ම රුසියාව , බෙලරුසියාව , ඉරානය , මියන්මාරය , සිරියාව , ඇෆ්ගනිස්තානය සහ වෙනිසියුලාවේ රාජ්‍ය ප්‍රදානීන්ට රාජාභිශේක මංගල්‍යයට ආරාධනා කර නොමැති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery