hit counter

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු 19, පෙ.ව. 10:02



යුක්‍රේන යුද්ධයේදී බලශක්ති සහ යටිතල පහසුකම් ඉලක්ක වෙත පහරදීමෙන් වැළකී සිටීමට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් එකඟතාව පළකර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඊයේ කළ දුරකථන සංවාදයක් අතරතුරදී එම එකඟතාවයට පුටින් පැමිණ ඇති අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් රුසියානු සන්නද්ධ හමුදාවන් වෙත ලබාදුන් බව ක්‍රෙම්ලීනය ප්‍රකාශ කළා.

නායකයින් දෙදෙනාගේ දුරකථන සංවාදය පැය එකහමාරකට වඩා වැඩි කාලයක් මුලුල්ලේ පැවති අතර එහිදී දෙරට අතර සබඳතා පුළුල් කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරී තිබෙනවා.

යුක්‍රේන අර්බුදයට දිගු කාලීන විසඳුමක අවශ්‍යතාව පුටින් පෙන්වා දී ඇති අතර අනාගතයේදී ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගතයුතු බව ද පවසා තිබෙනවා. මේ සඳහා යුක්‍රේනයට විදේශීය යුධ ආධාර සහ බුද්ධි තොරතුරු ලබාදීමෙන් වැළකිය යුතු බවයි පුටින් යෝජනා කර ඇත්තේ.

මේ අතර යුක්‍රේනය විසින් දින තිහක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම ධනාත්මක කරුණක් වුවද එවැනි සටන් විරාමයකදී යුක්‍රේනය හමුදා බඳවාගැනීම සහ සන්නද්ධ කිරීම නොකරන බවට වග බලාගත යුතු යැයි ද පුටින් පෙන්වා දී තිබෙනවා.

යුක්‍රේන අර්බුදය විසඳීම පිළිබඳ ඇමරිකාව සහ රුසියාව දිගටම සාකච්ඡා කළ යුතු යැයි ට්‍රම්ප් පෙන්වා දී ඇති අතර මැදපෙරදිග කලාපයේදී ද දෙරට අතර අවබෝධතාවයෙන් කටයුතු කළ යුතු යැයි ඔහු පෙන්වා දී තිබෙනවා.