hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 05, ප.ව. 9:06



රුසියානුවන්ට එරෙහිව මේ අවුරුද්දේ දියත් කරන ලද ප්‍රතිප්‍රහාරය සඳහා ඇමරිකානුවන් විසින් සූදානම් කරන ලද සැලැස්ම යුක්‍රේනය විසින් නොසලකා හැරිය බවත් එහෙයින් යුක්‍රේන හමුදා ශක්තිය බෙදීගොස් බලාපොරොත්තු වූ ප්‍රහාරය දියත් කිරීමට නොහැකි වූ බවත් වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.

සඳුදා දින වොෂිංටන් පෝස්ට් විසින් පළ කරන ලද දීර්ඝ ලිපියක මෙම කරුණු අඩංගු වනවා. යුක්‍රේනයේ, ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයන් තිහක් පමණ දෙනා සමග කළ සාකච්ඡාවලින් අනතුරුව එම ලිපිය සැකසූ බවයි එම පුවත්පත පවසන්නේ.

ඉතාම ධනාත්මක ස්ථාවරයකින් සැලසුම් කරන ලද ප්‍රතිප්‍රහාරය බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්කර නුදුන් බවත් එහෙයින් යුක්‍රේනය සහ ඇමරිකාව අතර නොරිස්සුම් සහගතභාවයට සහ එකිනෙකා කෙරේ සැක කිරීමට සහ විවේචනයට කරුණු සැකසුන බවත් එම පුවත්පත කියා සිටිනවා.

ප්‍රතිප්‍රහාරය අප්‍රේල් මාසය මැදදී ආරම්භ විය යුතු යයි ඇමරිකාව නිගමනය කළ බවත් මූලික ප්‍රහාරය මෙලීතපල් වෙත එල්ල කිරීමට සැලසුම් කළ බවත් මෙම පුවත්පත් වාර්තාව පෙන්වා දෙනවා. එම ප්‍රදේශයට ළඟා වීමේ අරමුණ වූයේ ක්‍රිමියාවට වැටී ඇති ගොඩබිම් මාර්ගය කපාහැරීමයි. මෙම සැලසුම සැකසීමේදී ජර්මනියේ වීස්බේඩන් හි ඇමරිකානු කඳවුරේදී සිදුකළ ආදර්ශ යුධ ක්‍රීඩාවන් යොදාගත් බවත් සඳහන් වනවා.

ප්‍රධාන ප්‍රහාරය දියත් කළ යුතුව තිබුණේ යුක්‍රේනයේ 47 වන බ්‍රිගේඩය විසිනුයි. යුරෝපා රටවල් විසින් එය සන්නද්ධ කරන ලදුව තිබූ අතර එහි පිරිස් බලයෙන් සියයට 70 ක් ඊට පෙර යුධ බිමේ සටන් නොකළ අලුතින්ම පුහුණු කළ පිරිස වූ බවයි කියැවෙන්නේ.

කෙසේ වෙතත් යුක්‍රේන නායකත්වය ඇමරිකානු සැලැස්මෙහි මූලෝපායික සහ ක්‍රමෝපායික සැලසුම් මෙන්ම කාල රාමුව පිළිබඳව ද නොසතුටු වූ බවයි සඳහන් වන්නේ. වොෂිංටන් පෝස්ට් වාර්තාව පවසන පරිදි යුක්‍රේනයට බර්ද් යාන්ස්ක් සහ බහ්මූත් වෙත ද පහරදීමට අවශ්‍ය වුණා.

යුක්‍රේනය මුලින් සන්නාහ සන්නද්ධ රථ 1000 ක් බලාපොරොත්තු වූ අතර ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් එම ඉල්ලීම සැපිරීම අපහසු යයි විශ්වාස කළ බව ද වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසනවා. කෙසේ වෙතත් අවසානයේදී ඇමරිකානුවන් සන්නාහ සන්නද්ධ රථ 1,500 ක් ලබාදුන් බවයි සඳහන් වන්නේ.

මිලිමීටර් 155 කාලතුවක්කු උණ්ඩ ඇති තරම් නිපදවීමට තමන්ට නොහැකි බව දුටු ඇමරිකාව දකුණු කොරියාවෙන් එම අඩුව සපුරාගත් බව ද මෙම පුවත්පත් වාර්තාව සඳහන් කළා. එමෙන්ම ඇමරිකාව විසින් යුක්‍රේන බ්‍රිගේඩ නවයකට පුහුණුව ලබාදුන් බව ද සඳහන්. යුක්‍රේනය විසින් F-16 ප්‍රහාරක යානා සඳහා කළ ඉල්ලීම් ඉටු නොකෙරුණේ ඒවායේ වියදම සහ රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිවලට ඒවා ඉලක්ක වීමේ අවදානම සලකා බවයි මෙම වාර්තාවෙන් තවදුරටත් කියැවෙන්නේ.

කෙසේ වෙතත් දින 60-90 ක් අතර යුක්‍රේන හමුදා අසෝෆ් මුහුද කරා ගමන් කරමින් ක්‍රිමියාවට වැටී ඇති ගොඩබිම් මාර්ගය කපා හරිනු ඇතැයි ඇමරිකානු සැලසුම්කරුවන් විශ්වාස කළ බවයි සඳහන් වන්නේ. එහිදී යුක්‍රේන හමුදා සේනාවන්ගේ පිරිස් බලයෙන් සියයට 30-40 ක් පමණ මියයනු හෝ තුවාල ලබනු හෝ ඇතැයි ගණන් බලා තිබෙනවා.

එක් ඇමරිකානු නිලධාරියකු පවසා ඇත්තේ යුක්‍රේනය ඉල්ලා සිටි සියළු දේ ඔවුන් වෙත නියමිත කාලය තුළ ලබාදුන් බවයි. එහෙයින් සැලසුම් කළ ආකාරයේ ප්‍රහාර එල්ල කිරීම අනිවාර්යයෙන්ම කළ හැකිව තිබූ බව ද එම නිලධාරියා පවසා තිබුණා.

අප්‍රේල් මැදදී දියත් කළ යුතුව තිබූ ප්‍රහාරය ජූනි මාසයේදී දියත් කෙරුණ අතර වැඩි දිනක් නොගොස් යුක්‍රේන හමුදාවල ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටියා. යුක්‍රේන හමුදා සන්නද්ධ රථ හානියට පත්ව සටන්බිම පුරා විසිර තිබෙනු දකින්නට ලැබුණා.

ජූනි 15 වනදා එවකට යුක්‍රේන ආරක්ෂක ඇමති වූ අලෙක්සේයි රෙෂ්නිකෝෆ් ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ට පවසා ඇත්තේ ඇමරිකානුවන් ලබාදුන් බිම් බෝම්බ ඉවත් කිරීමේ රථ සියයට 50 ක් ඒ වනවිට ද සටන් බිමේදී විනාශ වී ඇති බවයි.

47 වන බ්‍රිගේඩය දින දෙකකින් රබතයින් ගම්මානය අල්ලාගනු ඇතැයි අපේක්ෂා කළ ද ඊට මාස දෙකකට වඩා ගතවුණා.

කෙසේ වෙතත් යුක්‍රේන නිලධාරියකු පවසා ඇත්තේ සන්නාහ සන්නධ රථ යොදාගෙන සටන් පෙරමුණ කඩාගෙන යාමේ ඇමරිකානු සැලැස්ම ක්‍රියාවට නැගීමේදී අසාර්ථක බවයි. එමෙන්ම ආදර්ශක යුධ ක්‍රීඩා මගින් සටන් පෙරමුණ පිළිබඳ සැලසුම් සකස් කිරීමේදී ඩ්‍රෝන සහ අනෙකුත් නවීන ක්‍රමවේදයන් නොසලකා හරින බවත් ඔහු කියා සිටිනවා.

සටන් ඇරඹී දින හතරකට පසු යුක්‍රේන හමුදාපති වලේරි සලුෂ්නි, ඇමරිකානු උපක්‍රම පසෙකලා, කුඩා පාබල සේනාංක යොදාගෙන කෙරෙන පහරදීම්වලට මාරු වූ බවයි එක් නිලධාරියකු පවසා ඇත්තේ.

සමස්ථ යුධ පෙරමුණේම බලාපොරොත්තු සහ ප්‍රතිඵල අතර විශාල පරතරයක් වන බව පවසන වොෂිංටන් පෝස්ට් පුවත්පත, දැනට පවතින තත්ත්වය යටතේ යුක්‍රේනයට 1991 දී පැවති දේශසීමා කරා යාමට ඇති හැකියාව අවිනිශ්චිත බවත් එම අරමුණ සාර්ථක වුව ද ඒ සඳහා දැවැන්ත ජීවිත පරිත්‍යාගයක් සිදුකරන්නට වනු ඇති බවත් පවසනවා.