hit counter

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 අප්‍රේල් 10, පෙ.ව. 12:11



අල්ලස හා දූෂණය නමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින් නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති අතර නිලධාරී යාන්ත්‍රණය නිවැරදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (09) පැවති “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවයි සඳහන් කළේ.

අල්ලස හා දූෂණය නැමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද එහිදී අවධාරණය කර තිබෙනවා.

නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත්, අපරාධයකට දඩුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පසිඳලන ආයතනවල කිහිප දෙනෙකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කර තිබෙනවා.

අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊලඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබා ගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද කියා සිටියා.

ජනතාවගේ සෑම රුපියලකටම වගකියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ අතර එසේ කිරීම තුළින් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ විශ්වාසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බවද අපරාධයක් සිදු කර නීතියෙන් බේරී යාමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවයි ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: