hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 8:49



රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබෙනවා.

පෙළපාලිය අද පස්වරු 03.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ඒ සඳහා දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර ඇති බව සඳහන්.

විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට වෘත්තිය සමිති නියෝජිතයන් සහ බහුජන සංවිධාන ඊයේ (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට  සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බවයි.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඒෂියන් මිරර් වෙත අදහස් පළ කරමින් ‌සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසූවේ මෙම විරෝධතා ක්‍රියාමාර්ගවල යෙදීමේ අරමුණ පැහැදිලි නොවන බවයි.

එනිසා සිය වෘත්තීය සමිති මේ සඳහා සහභාගී නොවන බවද ඔහු කියා සිටියා.

අද (02) පැවැත්වෙනවා යැයි කියන පා ගමන කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවත් ඊට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියා.

ඔහු පැවැසුවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.

“රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.” යැයි ඔහු සඳහන් කළා.

අපි රටපුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා” යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මෙරට ආර්ථිකය යළි ස්ථාවර වෙමින් පවතින මොහොතක කඩාකප්පල්කාරී විරෝධතා පැවැත්වීමෙන් වළකින ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු ව්‍යාපාරික සම්මේලන 06ක් එකාබද්ධ නිවේදනයකින් ඉල්ලා සිටිනවා.

ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති  දුමින්ද හුලංගමුව මහතා අදහස් පළ කරමින් කියා සිටියේ,

“මෙවැනි උද්ඝෝෂණ සාමාන්‍ය ජන ජීවිතයටත් කර්මාන්තවලටත් විශාල ලෙස බලපානවා. ඒ නිසා වාජිණ මණ්ඩල සියල්ලම එකතු වෙලා අපි ඉල්ලීමක් කළා මේ වෙලාවේ අරගලයක් කරන්න එපා කියලා. මේ අවස්ථාවේ අපි ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. තිබ්බ තැනත් එක්ක දැන් ඉන්න නැත කඩාකප්පල් කරගන්න හොඳ නෑ. කඩාකප්පල් වුණොත් ඒක රජයට විතරක් නෙමෙයි බලපාන්නේ. අපි අද යම්කිසි හිස එසවීමක් සිදුකරගෙන තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය නිසා. මෙවැනි දේ ඒකට දැඩි ලෙස බලපානවා. මම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා මේ වගේ වැඩ සංවිධානය කරනකොට මුලින්ම රට ගැන හිතන්න.”