hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 ජූනි 16, පෙ.ව. 5:10



මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වලදමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයා ගැනීමට සමත්ව ඇතැයි යුද හමුදාව පවසනවා.

මාලි රාජ්‍යයේ ටෙසාලිට් සිට ගාඕ දක්වා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුමක් අතරතුරදී යුදහමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ 4 වන කණ්ඩායම විසින් කාන්තාර වැලි බිම් මාර්ගයක වලදමා තිබූ මෙම අධිබලැති බෝම්බය සොයාගනු ලැබුවා.

එහිදී ප්ලාස්ටික් උපකරණයකට අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු කොට තිබියදී සොයාගත් අතර සාමසාධක හමුදාවේ රථපෙල ඉලක්ක කර ගනිමින් මෙලෙස බෝම්බය අටවා ඇතැයිද යුදහමුදාව සැකපල කර සිටිනවා.

මේ අතර පසුගිය මැයි මස 22 වනදා සාමසාධක රථ පෙලක් ටෙසාලිට් දක්වා ගමන් කරමින් තිබියදී ශ්‍රී ලංකා යුදහමුදා ආරක්ෂක රථයක් මාර්ගයේ අටවා තිබූ බිම්බෝම්බයකට හසුවීමෙන් එක් යුදහමුදා නිලධාරියෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලැබුවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භට පිරිස් විසින් ජීවිත අවදානම, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භූමියේ දුෂ්කරතා ගැන නොතකා, භඨකාර්ය සම්පාදක රථ, ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ භාණ්ඩ ප්‍ර‍රවාහනය කරන  ට්‍රක් රථ සඳහා ආරක්‍ෂාව සපයනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ භටපිරිස් සුපරීක්‍ෂාකාරීව සහ ජීවිත අවධානමද නොතකා තම රාජකාරි කිරීම් වගකීමෙන් යුතුව ඉටු කරනවා.