hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2026 ජනවාරි 20, පෙ.ව. 9:23



හිටපු කතානායක අශෝක රන්වල මහතාට සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

රූපවාහිනි නාලිකාවක ඊයේ (20) පැවති දේශපාලන වැඩසටහනකදී  වැඩසටහන් පූර්වකයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අශෝක රන්වල මහතා තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඉටුකර නොමැති බවත්, ඒ හේතුවෙන් පක්ෂයක් ලෙස ඔහුට දිය හැකි උපරිම දේශපාලන දඬුවම ලබා දී ඇති බවයි.

අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ නියමිත කාලය තුළ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිසා බවද ඔහු එහිදී කියා සිටියා.

“ඔහු රටේ තුන්වැනි පුරවැසියා. සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය තරම් කාලය දැන් ගත වෙලා. මම හිතනවා දැන් එතුමාට සහතිකයක් නැහැ කියලා. කථානායක ධුරයෙන් ඉවත් කිරීම කියන්නේ පුද්ගලයෙකුට දේශපාලනිකව සහ පෞද්ගලිකව දිය හැකි බරපතළම දඬුවමයි,”

අශෝක රන්වල මහතා සැබෑ පර්යේෂකයෙකු ලෙස පිළිගැනීමක් තිබුණ ද, සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් පක්ෂය සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම තීරණය ගත් බව පැවසූ බිමල් රත්නායක මහතා පෙන්වාදෙන්නේ, එය මුළු පක්ෂයේම අනාගතයට බලපාන තීන්දුවක් බවයි.

එමෙන්ම  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුවූ බව කියන කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ගැන විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා.  

එහිදී සභානායක කාර්යාලයෙන් යොමුකළ ලිපියක “ආචාර්ය” යනුවෙන් සඳහන් වීම පිළිබඳව සහ එම පරීක්ෂණ අඩපණ වී ඇත්ද යනුවෙන් වැඩසටහන් පූර්වකයා විමසා සිටි අවස්ථාවේදී , “ඔයාලගේ වැදගත් කාලය ඔය වගේ රොඩුවලට නාස්ති නොකර ඉන්න. ඕවයේ ඇති දෙයක් නැහැ,” යනුවෙන් පවසමින් එම ප්‍රශ්නයට පිළිතුරු දීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: