hit counter

2025 ඔක්‍තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:22



2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: